WATCH Live CRICKET Select A Channel

19 May 2014

වානර මවකගේ දරු සෙනෙහස


පසුගිය සති අන්තයේ ලෝකය මවුවරුන්ගේ දිනය ඉහළින් සමරද්දී ඉන්දුනීසියාවේ සුලවෙසි ජාතික වනෝද්‍යානයේ වානර මවක තිරිසන් සතුන් අතර ද දරු සෙනෙහස අප්‍රමාණව පවතින බව නිහඬව ලොවට පෙන්වා දුන්නාය.
ම්කැක් යනු දකුණු ආසියාවේ වෙසෙන වඳවී යාමේ තර්ජනයට බරපතළ ලෙස මුහුණ දී සිටින වානර වර්ගයක් වෙයි.
නීති විරෝධී ආකාරයට දඩයම් කිරීම හා වාසස්ථාන අහිමි වී යාම නිසා උන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති. නත්තල් හා පාස්කු වැනි විශේෂ උත්සව අවස්ථා සඳහා වඩාත් උචිත මස් වර්ගයක් ලෙස ඉන්දුසීනියානුවන් ම්කැක් වානර මස සලකන හෙයින් ම එම කාලවලදී උන් වැඩි වැඩියෙන් රහසේ දඩයම් කෙරෙයි.
අපේ කතා පුවතට පාදක වන වැඳිරිය වෙසෙන්නේ ඉන්දුනීසියාවේ සු‍ලවෙයි ජාතික වනෝද්‍යානයට අයත් ටැන්ග්කොකො ස්වභාව රක්ෂිතයේය.
ඌ තම පැටවා මිය ගිය පසු එම මළ සිරුර පපු පෙදෙසට තුරුලු කරගෙන දින ගණනක් ම ගත කර ඇත්තේ ශෝකයෙන් යුතුව මෙන් ම වෙනත් කිසිම වානරයකුට තමන් ආසන්නයට පැමිණෙන්නට හෝ අවසර නොදී ය.
පළමුව මේ බව නිරීක්ෂණය කර ඇත්තේ වන ජීවී ඡායාරූප ශිල්පියකු වන බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩෲ වල්ම්ස්ලේ ය. 31 හැවිරිදි ඔහු සිද්ධිය මාධ්‍ය වෙත විස්තර කර තිබුණේ මේ ආකාරයෙනි.
“වඳුරු මව මා පසු කරගෙන යද්දී ඇය යමක් පපු පෙදෙසට තුරුල කරගෙන යන ආකාරය මා දුටුවා. නමුත් උගේ උදර පෙදෙස ග්‍රහණය කරගෙන තිබිය යුතු දෙපා බිම වැදෙමින් අප්‍රාණිකව ඒ මේ අත වැනෙන ආකාරයත් මා ඒ සමඟම දැක්කා.
“ඌ ගොස් පසෙක වාඩි වුණා ම මා දැක්කා ඒ කුඩා වානර පැටියකු බව. වානර මව හිටියේ මහත් ශෝකයෙන්. ඌ වරින් වර තම දරුවාගේ මළ සිරුර සිප ගත්තා. වරෙක තම දෙපා අතර තබාගත් ඒ සිරුර තවත් වරෙක පපු පෙදෙසට තුරුලු කර ගත්තා. ඇත්තෙන් ම එය හද රිදවන දසුනක් වූවා.”
මේ සමඟ පළවන්නේ එම අවස්ථාවේ ඇන්ඩෲ වල්ම්ස්ලේ ලබාගත් ඡායාරූපය.
“මඳ වේලාවකට පසු තරුණ පිරිමි වඳුරකු ඇය දෙසට ආවා. සමහර විට එසේ එන්නට ඇත්තේ ඇගේ දුක බෙදා හදා ගන්නයි. නමුත් මවු වැඳිරිය දත් විලිස්සමින් වඳුරාට විරෝධය පෑවා. එහෙත් වඳුරා පසුබෑවේ නැහැ. වැඳිරිය කළේ ඉදිරියට පැන වඳුරාගේ අතක් සපා කෑමයි. වඳුරා මඳක් පසුබාද්දී වැඳිරිය යළි යළිත් කෝපයෙන් දත් විළිස්සුවා. වඳුරා පසු බැස ගියා මිස නැවත ඒ පැත්තට ආවේ නැහැ.”
බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සිට ඇන්ඩෲ එහි පැමිණ තිබුණේ තවත් කණ්ඩායමක් සමඟිනි. ඔවුහු සෑහෙන වේලාවක් එහි රැඳී සිට වැඳිරිගේ හැසිරීම් රටා නිරීක්ෂණය කොට ඇත.
“අපි ඒ වැඳිරිය මුලින්ම දුටුවේ පෙරවරු එකොළහට පමණ. එතැන් පටන් පැයකට වැඩි කාලයක් අප ඌ නිරීක්ෂණය කරමින් එතැන රැඳී සිටියා.
දරු සෙනෙහස නිසාම ඌ මහත් ශෝකයට පත්ව සිටින වග අපට වැටහුණා. කිසිවිටෙක ඇය තම දරුවාගේ මළ සිරුරෙන් මඳකට හෝ ඈත්වූයේ නැහැ. මිනිසුන්ගේත් තිරිසනුන්ගේත් දරු සෙනෙහසෙහි එතරම් වෙනසක් නැති බවකුයි අපට හැඟුණේ.” ඇන්ඩෘ පවසයි.
මවුවරුන් තම දරුවන්ට දක්වන සෙනෙහස පිළිබඳ ගැටලුවක් නැත. එහෙත් මිනිස් ලෝකයේ දරුවන් තම මවුවරුනට පෙරළා සෙනෙහස දක්වන්නේ ද යන්න ගැටලුවක් වෙයි. උත්සවාකාරයෙන් වාර්ෂිකව සැමරෙන මවුවරුන‍්ගේ දිනය ඇතුළත ඇත්තේ ද එම ගැටලුවම නොවන්නේද?
සුලවෙසි වනෝද්‍යානයේ වන ජීවී නිලධාරීන් පසුව සනාථ කර තිබුණේ එම වැඳිරියගේ පැටවා ඊට දෙසතියකට පමණ පෙර උපන්නකු බවය.
යම් හේතුවක් නිසා පැටවා මිය ගොස් සිටි අතර ඇන්ඩෲ උන් දැකීමෙන් පසු තවත් දෙදිනක් ම වැඳිරිය තම පැටවාගේ මළ සිරුර අත් නොහළ බව වනෝද්‍යානයේ නිලධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
එම සම්පූර්ණ කාලය ඇතුළත වැඳිරිය අහර ගැන කිසිම උනන්දුවක් දක්වා ද නැත. තෙවැනි දිනයෙන් අනතුරුව ඌ තම පැටවාගේ මළ සිරුරෙන් ඈත් වී තිබේ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK