ගයාන්.... මේ පාර පුතාගේ බර්ත්ඩේ එක ලොකුවට ගන්න ඕන අනේ.... ඔයාට මතකද නිරූෂි ගේ බබාගේ බර්ත්ඩේ එක. හරිම ලස්සනට ඇරේන්ජ් කරළා තිබුණා නේද..? මේ පාර අපිත් අපේ පුතාගේ බර්ත් ඩේ එක හොඳ හෝටලයක ගමු නේද..?
සුරනි ගයාන්ට කිව්වේ ලොකු ලොකු බලාපොරොත්තු ගොඩාරියක් හිතේ පුරවගෙන.
ව්‍යාපාරිකයෙක් වුණු ගයාන් හැමදාමත් ගත කළේ කාර්ය බහුල ජීවිතයක්. හැබැයි ඉතින් මේ දෙන්නට සල්ලිවලින්, සැප පහසුකම්වලින්, යාන වාහනවලින් නම් අඩුවක් තිබ්බේ නෑ. සුරනි ගයාන්ට පුතාගේ උපන් දිනය හෝටලයක ගම්මු කියලා යෝජනා කළාට හෝටලයක් තරම් ලස්සන ගෙයකුත් මේ දෙන්නට තිබුණා.
සුරනි.. ඔයා ඕන විදියකට බර්ත්ඩේ පාටිය ඕගනයිස් කර ගන්න. මට නම් ඕවට යට කරන්න කාලය නෑ. මම ඔයාට ඕන තරම් සල්ලි දෙන්නම්. ඔයා දන්නවනේ මේ බිස්නස් එක්ක මට ඕව කරන්න වෙලාවක් නෑ කියලා..
ගයාන් සුරනිට කිව්වා.
ගයාන්ගේත් සුරනිගේත් පුංචි පුතු කවීශට තාමත් අවුරුදු තුනයි. එළඹෙන්නේ කවීශගේ තුන්වෙනි උපන් දින සැමරුම. කවීශට මේ ගැන හැඟීමක් නැති වුණත් සුරනි නම් බොහෝම උනන්දුවෙන් බර්ත්ඩේ පාටිය සූදානම් කළා. සුරනිගේ නෑදෑයෝ, ගයාන්ගේ නෑදෑයෝ වගේම මේ දෙන්නගේම හිත මිතුරන්ටත් උපන්දින සාදයට ඇරියුම් කළා. උපන් දින උත්සවය සූදානම් කරලා තිබුණේ තරුපහේ හෝටලයක.
පුංචි කවීශටත් සුරනි අලුත්ම ඇඳුමක් අන්දලා බර්ත් ඩේ කේක් කපන්න සූදානම් කළා. නෑදෑයෝ හිත මිත්‍රයෝ හෝටලයට එකතු වුණාම කට්ටියම එක්ක එකතු වෙලා කවීශ ගේ උපන් දින කේක් එකත් කැපුවා. ඊට පස්සෙ ඉතින් උදා වුණේ කට්ටියම සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාව. කාලෙකින් හමු නොවූ මිතුරු මිතුරියන්, ඥාති සමූහයා මැද්දේ සුරනිට කතා බහ කරලා ඉස්පාසුවක් තිබුණෙ නෑ.
පුංචි කවීශත් යාළුවෝ කට්ටියත් එක්ක එහෙ මෙහෙ දුවමින් සෙල්ලම් කර කර හිටියා. ගයාන්ටත් සුරනිටත් ටික වෙලාවකින් පුංචි කවීශ දිහා ඇහැගහගෙන ඉන්න බැරි වුණා. පැයක් විතර ගියාට පස්සෙ තමයි සුරනිට පුතාව මතක් වුණේ. බර්ත් ඩේ බෝයි ටික වෙලාවකින් දැක්කෙ නැති නිසා සුරනි පුතාව හොයන්න ගත්තා. හෝටලේ පුරාම හෙව්වත් කවීශව හොයා ගන්න බැරි වුණා. නිකමට වගේ සුරනි ශාලාව කෙලවර තිබුණු ස්විමිං පූල් එක පැත්තටත් ගියා.
ස්විම්ං පූල් එකේ දුටු දර්ශනය කාටවත් කියන්නවත් සුරනිට සිහියක් නැති වුණා. ඇය කළේ යටි ගිරියෙන් කෑ ගහපු එක විතරයි. සුරනිගේ කෑ ගැහිල්ලට හැමෝම එතනට ආවා. කවුරු ආවත් ඒ වෙන විට වෙන්න ඕන දේවල් සේරම වෙලා ඉවරයි.
හෝටලේ ලයිට් එළියට දිලිසෙන ස්විමිං පූල් එකේ නිසල දිය මත පුංචි කවීෂ පාවෙමින් හිටියා. හනි හනිකට දියෙන් ගොඩගෙන හදිසි අනතුරු අංශයට රැගෙන ආවත් ඒ වනවිටත් පුංචි කවිෂ දුර ගමනක් ගිහින් බොහෝම වෙලාවක් ගතවෙලා. කවිෂගේ පුංචි දෙනෙත් ශාන්තව පියවිලා තිබුණා. ගයානුත් සුරනිත් ඉස්පිරිතාලේ දෙවනත් වෙන්න කෑ ගහනවා. ඒත් ඉතින් දැන් මොනව කරන්නද? පුංචි පුතා ඔවුන් දෙන්නා අතහැරලා ගිහින් ඉවරයි. ගයානුත්, සුරනිත් කොච්චර වැඩ මැද්දෙ වුණත් කවීෂ ගැන ඇහැ ගහගෙන හිටියා නම් ඔය තරම් සෝ සුසුම් හෙලන්න සිදුනොවෙන්න තිබුණා