මා දන්නා ආකාරයට හදිසි අනතුරු ලොව කොහේවත් සපුරා ඉවත් කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය මනාව පාලනය කළ හැකියි. ඒ සඳහා සමීක්ෂණ මඟින් සොයා ගන්නා කරුණුවලට අනුව කටයුතු කළ යුතුයි.
බොහෝ විට අනතුරුවලින් සියයට 75 ක් පමණ පුද්ගල හේතු මත සිදුවන ඒවායි. විශාල වශයෙන් පදිකයන්, සතුන් සහ වාහන ගැවසෙන මාර්ගවල වාහනවල වේග සීමාවල ප්‍රමිතියක් නැහැ.
හිතුමතේ පාරේ යනවා, මාර්ග සංවර්ධනය වීමේදී පදිකයන් මෙන්ම රියැදුරන් ආරක්ෂා සහිතව ගමන් කිරීමට මාර්ග සංඥා පිළිපැදීම ඉතා වටිනවා.
සමහර අවස්ථාවලදී අබලන් මාර්ග තිබෙන විට නිසි නඩත්තුවක් සිදු නොවීමෙන් අනතුරු ඇති වෙනවා.
අවදානම් සහිත වාහන ලෙස හඳුන්වන ත්‍රීරෝද රථ, මෝටර් බයිසිකල් සහ පාපැදි යන්නේ සංඥා නොසලකා ඉඩ ඇති තැන්වලින් රිංගාගෙනයි. එය අනතුරුවලට අත වැනීමක්.
බොහෝ විට ත්‍රිරෝද රථවල හැරවීමට නියමිත සීමාවක් යොදා ඇති ක්‍රමය ඉවත් කර අසීමිතව හැරවිය හැකි අන්දමින් සකස් කර ගන්නවා. එවැනි වාහනවල ප්‍රමිතීන් රැක ගැනීම සඳහා නීති ඇති බවක් පෙනෙන්නටත් නැහැ. ඒ නිසාම මේවායින් අනතුරු බොහෝ වැඩි වෙන්නට ඉඩ තිබෙනවා.
මඟීන් වැඩි බස්රථවල රිය පැදවීමේ ප්‍රමිතියක් නැහැ. ඔවුන් මාර්ග නීති නිසි පරිදි පිළිපදින්නෙත් නැහැ. අනෙක වට රවුමක්, මාර්ග සංඥා හෝ පොලීසිය යන ආකාර තුනෙන් එකක් තිබිය යුතුව තිබියදී ඒ ආකාර තුනම භාවිත කර වාහන පාලනය කිරීමේ තත්ත්වයට අද අපේ රට ඇද වැටිලා.
මහා මාර්ගවල යන වාහනවල දුර්වල ආලෝකය හෙල් සහිත පාරවල්වල ආරක්ෂිත වැට නොමැති වීම, ටී. වී., රේඩියෝ, දරු සුරතල්, ආහාර ගැනීම, දුරකථනවලට කන් දීම ආදිය සමඟ රථ වාහන පැදවීමේ පුරුදු නිසා අනතුරු සිදුවන අවස්ථා බොහෝයි. ඒ වගේම කෙතරම් නීති තිබුණත් මත්පැන් භාවිත කර වාහන පැදවීම නිසාත් අනතුරු සිදු වනවා. ඒ වගේම ඇස් පෙනීමේ දුර්වලතා, කන් ඇසීමේ දුර්වලතා මෙන්ම හෘදයාබාධ ඇතිවීම් වැනි සෞඛ්‍ය තත්ත්වයන් නිසාත් පරිසර සාධක නිසාත් අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් සිටීම වැදගත්.
සමහර රියැදුරන්ට ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව නැතිවීම නිසාත් ගෙදරින් කොපමණ හොඳ මානසික මට්ටමකින් ආවත් මහමඟදී නිර්මාණය වන සිදුවීම් නිසා ඇතිවන මානසිකත්වයන් නිසාත් අනතුරු සිදුවන්න පුළුවනි. ගැහැනු පිරිමි භේදය, පළපුරුද්ද නැතිකම, ආතතිය හා ආවේගය නිසාත් අනතුරුවලට මඟ පෑදෙනවා. ඒ වගේම තවත් තත්ත්වයක් වන්නේ ආරක්ෂිත මෙවලම් භාවිත නොකිරීමයි. එහි දරුණුම හා භයානක අවස්ථාව පොඩි දරුවන්ට හෙල්මට් පලඳින්නේ නැතිව දෙමවුපියන් පමණක් ඒවා පැලඳීමයි.
සීට් බෙල්ට් නොපැලඳීම නිසා බොහෝ විට බෙල්ලේ කශේරුකා බිදෙන්නත් ඉඩ තිබෙනවා.
මේ වැනි අනතුරක් දුටු විට පළමුවෙන්ම කළ යුත්තේ කලබල නොවීමයි. ඒ වගේම කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළ යුතුයි. අනතුරට ලක්වූ වාහනයක් තුළ සිටින අයකුව එළියට ගැනීමේදී මිනිස් සිරුරට තවත් හානිකර නොවන අයුරින් ඒ කටයුතු සිදු කළ යුතුයි.
වන්දි ලැබීමෙන් අනතුරක හානිය පියවා ගන්න බෑ. සමහරවිට ඒ අනතුර සිදුවන්නේ පවුලේ ආදායම් ලබන්නාට හෝ ආයතනයක ප්‍රධානියාට හෝ විය හැකියි. එයින් පවුලකට, ආයතනයකට හා එයින් යැපෙන විශාල සංඛ්‍යාවකට හානි විය හැකියි. රටේ ආබාධිතයන් ඉතුරු වීමෙන් ආර්ථික සංවර්ධනයට බාධා එල්ල විය හැකියි. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වසරකට කෝටි ගණන් මුදල් වියදම් වන්නේ සුළු නොසැලකිල්ලක් නිසා වන්න පුළුවන්.
ඒ නිසා අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර රියදුරන්, මඟීන් ඇතුළු සියලු පාර්ශ්වවලින් ගත යුතු අතරම අනතුරක් සිදුවූ විට ජීවිත බේරා ගැනීමට ක්‍රියා කළ යුතු ආකාරය ගැනත් සියලු දෙනා දැනුම්වත් වී අනතුරු වළක්වා ගැනීමට සියලු පියවර ගත යුතුයි.