WATCH Live CRICKET Select A Channel

16 May 2014

සීසීටීවී කැමරාව මොන්ටෙරෝ මාරයා හඳුනා ගත් හැටි...


පසුගිය මස 27 දින උදෑසන කළුතර නෑ ගෙදරක සිට සිය ගම් පළාත වූ මහනුවර පූජාපිටිය බලා යාමට ඇය සිය සැමියාත් කුඩා දරුවාත් සොහොයුරාත් සමඟ පිටකොටුවට පැමිණියේ පාන්දර 4.15 ට පමණය.

පිටකොටුව ගුණසිංහ පුර බස් නැවතුමෙන් බැසගත් මේ පිරිස එතැන වූ කහ ඉර මතින් පාර පනින්නට වූයේ වැඩි පරිස්සමටය.
එක්වරම කොටුව දෙසින් සුදු පැහැති මොන්ටෙරෝ වර්ගයේ ස්පෝර්ට් ජීප් රථයක් වේගයෙන් එනු දුටුවද පාතිමාට කරන්න දෙයක් තිබුණේ නැත. වාහනය ඇය හප්පා නොනවත්වා ආ වේගයෙන් ම ඉදිරියට ගියේ බලාසිටියවුන්ගේ බෙරිහන්දීම් මැදය. රියේ හැපුණු පාතිමා උඩින් ගොස් පාර මැද වැටුණාය.
සැමියාට හා සොහොයුරාට කර කියාගත හැකි දෙයක් නොවීය. ඔවුන් දෙදෙනා ද රථයට යට නොවී බේරුණේ වහා ඉවතට පැන ගැනීම නිසාය.
නොනවත්වා ගිය වේගයෙන්ම රිය පලා යනු දුටු පිරිස් කෑගැසූහ. රැස්ව සිටි පිරිස සමඟ ලේ ගලන තුවාල සහිතව කෙඳිරිගාමින් සිටි පාතිමා රෝහලට රැගෙන යාමට කටයුතු කළහ. එහෙත් අතරමගදී ඇය සදහටම දෙනෙත් පියා ගත්තේ සැමියාගේ හා සොහොයුරාගේ විලාප හඬ මැදය. එවිටම එතැනට පැමිණි පිටකොටුව පොලිසියේ රථවාහන අංශයේ සැරයන් නිරෝෂන් රත්නායක (33745) ඇතුළු පොලිස් නිලධාරිහු සාක්ෂි සටහන් කර ගත්හ.
“අපි එතැනට එනකොටත් තුවාලකාරිය මිය ගිහින්. අපිට තිබු‍ෙණ ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කරගන්න. මුලින් ම මිය ගිය පාතිමාගේ සැමියාගෙන් සාක්ෂි සටහන් කර ගත්තා. ඉතා වේගයෙන් පිටකොටුව බෝධිය පැත්තේ ඉඳල ආපු සුදුපාට මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ ජීප් රියක් ඉතා වේගයෙන් ඇවිත් තමාටත් සොහොයුරාටත් මැදින් ගිය පාතිමා හප්පාගෙන ගිය බව ඔහු කීවා.
ඔවුන් බේරී ඇත්තේ ඉවතට පැන ගැනීමෙනි. ගැබිනි කතක් වූ පාතිමාට පැන ගන්නට තබා හිතන්නටත් වෙලාවක් තිබී නැහැ. රියේ අංකය හැටියට ඔහු කීවේ K අකුරෙන් එන අංකයක් දැක්ක කියල විතරයි. අපි සාක්ෂි අහගෙන යනවිට සිද්ධිය ඇසින් දුටු කෙනෙක් කීවා KN4994 වාහනේ අංකය කියලා.
අප ඊළඟට මාර්ගයේ සවිකර තිබුණු CCTV කැමරාවෙන් සිද්ධිය නැරඹුවා. ඉතා වේගයෙන් ඇය හප්පා ගෙනයන සුදුපාට මොන්ටෙරෝ ජීප් රථය වේගයෙන් යනවා. කාටවත් කිසි දෙයක් කරන්න වෙලාවක් නැහැ. අපට සිද්ධිය විස්තර කළේ සැරයන් නිරෝෂන් රත්නායකයි.
“ඉන්පසුව අපේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප‍ ‍පොලිස් පරීක්ෂක ජානක වීරසිංහ මහත්තයගේ උපදෙස් පරිදි ඔහුත් මමත් කොස්තාපල් ධනුෂ්ක උදයංගත් (72488) අපි CCTV කැමරාවෙන් රථය යන දිසාව බැලුවා. ස්ථාන කීපයක කැමරා කෝණ අනුව එය පෑලියගොඩින් නුවර පාරට හැරී කැලණිය දිසාවට වේගයෙන් ඇදී ගියා. එහිදී එහි අංකය පිළිබඳ පැහැදිලි දසුනක් ගන්න බැරි වුණා. අඳුරත් අවටින් පාරේ යන රථවල විදුලි එළියත් නිසා දර්ශනය පැහැදිලි වුණේ නැහැ.”
“ඉන්පසු උසස් නිලධාරින්ගෙන් මේ ගැන පරීක්ෂණ පවත්වන්න උපදෙස් වගේ ම නිදහසත් අපට ලැබුණා. අපි මුලින් ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් K N 4994 රථය ගැන සොයා බැලුවා. එය තංගල්ල පැත්තේ මෝටර් රථයක්. එයින් අපට පැහැදිලි වුණා ඔවුන් දුන් අංකය පැහැදිලි නැති බව.
ඒත් ඒ අංකය හරි බව සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් ම කියැවුණා. වැරදී ඇත්තේ මුල් ඉංග්‍රීසි අකුරු. එයිනුත් මුල් ‘K’ අකුර හරි. වැරදී ඇත්තේ දෙවැනි අකුරයි. රථයේ වේගය නිසා ඔවුන්ට එය පැහැදිලිව පෙනෙන්නට නැතුව ඇති. එස්.එස්.අයි. මහත්තයයි අපියි පසුබට වුණේ නැහැ.
අපි ඉහළ නිලධාරින්ගේ උපදෙස් පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් K අකුරෙන් එන 4994 අංක ඇති රථ පිළිබඳව දත්ත රැස් කළා. අපට රථ පන්සිය ගණනක දත්ත ලැබුණා. අපි ඒවා එකින් එක වර්ග කරමින් සුදු පාට මොන්ටේරෝ ස්පෝට් වර්ගයේ රථ ගොනු කළා. එයිනුත් බස්නාහිර පළාතේ වාහන විශේෂයෙන් පරීක්ෂා කළා. ඊළඟට මේ ලැයිස්තුවත් රැගෙන අපි ඒ ඒ ස්ථාන වලට ගියා. එහිදි බොහෝ රථ හිමියන් අපට සහයෝගය දැක්වුවා. කැමැත්තෙන් ම සිය වාහන පරීක්ෂාවට ඉඩ දුන්නා. ඒත් ටික දෙනෙක් අපට ප්‍රශ්න ඇති කර ගොඩාක් කරදර දුන්නා. ඒත් අපි පසුබට වුණේ නැහැ.”
“මෙහෙම හොයාගෙන යද්දි අපට KQ 4994 වාහනය ගැන සැකයක් ඇති වුණා. එය හරියට ම අප සෙවූ වාහනය විය හැකිය. සුදුපාට මොන්ටෙරෝ ස්පෝට් වර්ගයේ එකක්. එය ලියාපදිංචිව තිබුණේ මොරටුවේ අයෙකුගෙ නමට. එය රජයේ සංස්ථාවක උසස් නිලධාරියෙකු බලපත්‍රයකට ගත් එකක්.
ඔහු එය විකුණා තිබුණේ කිරිබත්ගොඩ ලිලාන් ජයරත්න නමැති අයෙකුටයි. අපි ඔහු සොයා ගෙන ගියා. ඒ වන විටත් ඔහු විදේශගත වෙලා. රථය කීපපොළක සඟවා යළිත් ඔහුගේ ගෙදරට ගෙනත් තිබුණා. අපි රථය පරීක්ෂා කළා. එහි අනතුර වූ සලකුණු එලෙසම තිබුණා. බොඩියේ තැලීම් තිබුණා. රථය අපි අත්අඩංගුවට ගත්තා. ඒත් එය පැදවූ පුද්ගලයා රට පැනලා. අපි ලියාපදිංචි හිමිකරු උසාවියට ඉදිරිපත් කළ පසු ඔහු ඇප පිට නිදහස් කළා උසාවියෙන්.” සැරයන් රත්නායක විස්තර කර සිටියේය.
“ඒ පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයෙක්. දැන් සියලු සාක්ෂි සූදානම්. අපි ඔහු අල්ලන්නට ජාත්‍යන්තර පොලීසියට රතු නිවේදනයක් නිකුත් කළා.”
මෙය අද කාලයේ අසන්නට ලැබෙන පුවත් අතර විශේෂිත වූ පුවතක් වන්නේ CCTV කැමරාවෙන් ලත් උපරිම ප්‍රයෝජන මෙන් ම පොලිස් නිලධාරින්ගේ උනන්දුවෙන් හා කැපවීමෙන් සදහටම වැළලෙන්නට ගිය රහසක් එළිදරව් කරගන්නට හැකිවීම නිසාය.
“විශේෂයෙන් CCTV කැමරාව නිසා අපට රථවාහන අනතුරු පිළිබඳව ඇත්ත සොයා ගැනීමට හැකි වී තිබෙනවා. CCTV කැමරා සවිකර ඇති ස්ථානවල අනතුරක් සිදුකොට පලායාමට රියැදුරාට හැකියාවක් නැහැ. දහවලට නම් රථයේ අංකයත් හරි හැටි බලාගත හැකියි. එහෙත් රාත්‍රියට බොඳවන විදුලිඑළි නිසා එහි අපහසුවක් තියෙනවා. අපි පිටකොටුව ප්‍රදේශයේ මෙවැනි අනතුරු දහස් ගණනක සාක්ෂිකරු ලෙස CCTV කැමරා දත්ත උපයෝගී කරගෙන තියෙනවා. බොහෝ විට පෞද්ගලික CCTV කැමරා ඔස්සේ ද බොහෝ අපරාධ විසඳා ගැනීමට අද හැකිවී තිබෙන අයුරු පේනවා. බොහෝ අවිනීත රියැදුරන්ට අනතුරු සිදුකොට පලා යන්නට නගරයේ ඇති CCTV පද්ධති ඉඩ දෙන්නේ නැතැÓයි පොලිස් රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කීය.
“දැනටමත් කොළඹ නගරයේ ස්ථාන ගණනාවක ම පිහිටුවා ඇති CCTV කැමරා පද්ධති මඟින් මාරක අනතුරු දහස් ගණනක් නිරීක්ෂණය කොට නඩු දමා තිබෙනවා. ඒවා සමහර නඩුවලට ප්‍රබල සාක්ෂි ලෙස භාවිතා කෙරෙනවා. කොළඹ නගරයේ අනතුරක් සිදුකොට පලායාම රියැදුන්ට ලේසි වන්නේ නැහැ. අපේ CCTV කැමරා අංශයේ නිලධාරින් පැය 24 ම සේවයේ යෙදී සිටිනවා. ඒ දර්ශන පටිගතකොට තබනවා.”
“අපි දැනට ඇති උපකරණවලට වඩා නවීන උපකරණ ගෙන්වන්නට දැන් සූදානම් කොට තියෙනවා. සාමාන්‍ය CCTV කැමරාවත් සමඟ රථයේ අංකය දෙසට එල්ල කර තබන විශේෂ CCTV කැමරා පද්ධතිත් ගෙන්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ විතරක් නොවෙයි වෙනත් නගරවලත් මාර්ගවල CCTV කැමරා සවි කිරීමට දැන් අපේ බලාපොරොත්තුවයි. නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසීය.
මේ වන විට CCTV කැමරා පද්ධති ක්‍රියාත්මක වන්නේ කොළඹ පමණි. අනිකුත් නගරවල ද CCTV කැමරා සවිකරන්නේ නම් බොහෝ මාර්ග අනතුරු නිරාකරණය කර ගැනීමට පහසුවකි. කෙසේ වෙතත් කොළඹ පිටකොටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජානක වීරසිංහ, සාජන්ට් නිරෝෂන් රත්නායක (33745), පොලිස් කොස්තාපල් (72488) යන නිලධාරින් කළ මෙහෙය විශිෂ්ටය.
ජ්‍යෙෂ්ඨ පොලිස්පති බස්නාහිර අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (රථවාහන) චූලා ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි සුමිත් නිස්සංක යන නිලධාරින් ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිදුකරන ලද මේ CCTV මෙහෙයුම සාර්ථක වූයේ පිටකොටුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ කැපවීම නිසාය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK