WATCH Live CRICKET Select A Channel

16 May 2014

ඔබේ සිඟිත්තා කෑමට හුරු කිරීම අමාරුද?

making your baby eat දරු පැටියකු හොඳින් ලොකු මහත් කර ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම ඔහුට හෝ ඇයට නිසි පෝෂණය ලබා දීම ඉතා වැදගත්. නමුත් අපි දන්නවා බොහොමයක් මවුවරුන් මැසිවිලි නගන්නේ තම කිරිකැටියාට කැවීම ලොව ඇති අපහසුම කාර්යය ලෙසයි. අද අපි බලමු ඔබටත් පහසුවක් විය හැකි කරුණු කිහිපයක් ගැන.
කුඩා දරුවන් යමක් අවබෝධ වන වයසට එන විටම අනෙකුත් අය අනුකරණය කරන්නත්, ටිකෙන් ටිකේ දරුවාගේ අනන්‍යතාවයක් ගොඩ නගා ගැනීමටත් උත්සහ කරනවා. ඔබ දරුවාට කැවීම සහ අනෙකුත් සියලුම සැලකීම් කිරීමේදී එය මතක තබාගෙන කල යුතුයි.

* දරුවා වෙළඳසල වෙත ගෙන යන්න

ඔබ එළවලු මිළදී ගැනීමට යන විට ඔබ සමග දරුවා ගෙන යන්න. එවිට දරුවා විවිධ කෑම වර්ග දැකීමෙන් යම් කිසි ප්‍රියතාවයක් ඇති කර ගනු ඇත. විශේෂයෙන්ම දරුවාට නැවුම් එළවලු, පලතුරු ආදිය පෙන්වමින්, ඒවාගේ නම් කියා දෙමින් ඒවා අතින් ගෙන නිරීක්ෂණය කිරීමට ඉඩ දෙන්න. එවිට සම්පුර්ණ ක්‍රියාවලියේ තමනුත් කොටස් කරුවෙකු බව දරුවාට හැඟේ. නමුත් දරුවාට පගා/කප්පම් වශයෙන් කෘතීම රසකැවිලි, අධික තෙල් සහ ලුණු ඇති කෙටි ආහාර ආදියට ඇබ්බැහි නොකිරීමට ඔබ ප්‍රවේසම් විය යුතුයි.

* විවිධ වර්ණ සහිත ආහාර

සියලුම කෑම වේලවල් වලට විවිධ වර්ණ සහිත ආහාර එක් කරන්න. කුඩා දරුවන් වර්ණවත් දේවලට ප්‍රිය කරති. ඔවුන්ට ආහාර ගැනීමේ ක්‍රියාවත් ඉතා විනෝදජනක දෙයක් වෙයිනම් ඔවුන් තම කැමැත්තෙන්ම ආහාර ගන්නට හුරු වනු ඇත. ඔබට පුළුවන් කෑම වේලට කැරට්, බෝංචි, තක්කාලි (ස්වල්පයක්), ගෝවා, බ්රෝකලි, බටු ආදී විවිධ වර්ණ ඇති එළවලු විවිධ ක්‍රම වලට උයා මේසයෙන් තැබීමට. දරුවාට ස්වභාවිකව ඇතිවන කුතුහලය නිසාම ඔහු හෝ ඇය ඒවා රස බලන්නට උත්සහ කරාවි.

* ඔබ උයන පිහන අයුරු දරුවාට දකින්න සලස්වන්න

ඉහත සඳහන් කල පරිදි දරුවා ඉගැනුම් ක්‍රියාවලිය ක්‍රියාකාරකම් වලින් පිරුන තරමට කැමති වෙයි. ඉතින් ඔබට පුළුවන් ඔබ උයන අයුරු දරුවාට පෙනෙන ලෙස කරන්නට. හැබැයි අමතක කරන්න එපා පිහියෙන් ඇත කපා ගැනීමට, ගිනි උදුනෙන් ඇත පුච්චා ගැනීමට හෝ අනවශ්‍ය දෙයක් දිවගා බැලීමට දරුවන් පෙළඹෙන බව. එවිට ඔබ කාරුණිකව දරුවා එයින් ඈත් කරමින් පාඩමක් උගන්වන්න.

* දරුවා සමග ඔබත් අහාර ගන්න

මඳක් සිතන්න, ඔබ ඉතා කුතුහලයෙන් යුතුව හැම දෙයක් දෙසම බලයි නම්, යම් කෙනෙක් ඔබට කන්න දෙන දෙයක් ඔහු හෝ ඇය නොකා ඔබට කන්නට බල කරයි නම් ඔබ කැමති නැහැ නේද? ඒසේම දරුවන්ටත් කන්න දෙන විට ඔබත් ඔවුන් සමග කන්න. එවිට ඔවුන් ඔබ ගැන විශ්වාසයක් ගොඩ නගාගෙන කැමට යොමු වෙයි. ඒ වගේම ඔවුන් සමග ඔබ බෙදාගෙන කන්නේ නම් ඔවුන්ට එය සාමූහික හැඟීමක්ද ගෙන එනු ඇත.

* විවිධ හැඩයෙන් යුතු කෑම සාදන්න

මතකද අපි කුඩා කාලයේ අම්ම කවපු "කුරුළු පැටවූ" හැඩයේ බත් ගුලි? ඒවා දරුවාගේ උනන්දුව වැඩි කරයි. එපමණක් නොවේ, ආහාර ගැනීම විනෝදජනක අත්දැකීමක් බවට පත් කරයි. එනිසා ඔබටත් පුළුවන් ලස්සන හැඩවලට කෑම හදන්න. වෙළඳපොලේ ඇති "Cookies" බිස්කට් අච්චු භාවිතා කර රොටියක් උනත් ලස්සන හැඩයකට කැපිය හැකියි. තවද, ඔබට පුළුවන් නම් පෝෂ්‍ය ගුණය සමබල වන කුකීස් වර්ග නිවසේදීම සැදීමට, එය ඔබගේ පවුලටත් දරුවාටත් ඉතා හොඳ දෙයක් වෙයි.

* ඇවිටිලි කරන්න එපා

ඔබ දරුවාට කන්න කියා බල කරමින් කරදරයක් වන්න එපා. නමුත් දරුවාට උගන්වන්න "එපා කියන්න කලින් කටවල් 3ක් කාලා බලන්න" වැනි දෙයක්. හෙමින් හෙමින් ඔබේ දරුවාත් කුඩා කටවල් ආහාරයට ගනිමින් ඔහු හෝ ය කැමති හෝ අකමැති දේ හඳුනා ගනීවි. තවද, සමහර දරුවන් තාත්තාට, මාමාට, ආච්චි අම්මාට හෝ සීයාට ලෙන්ගතුකමක් දක්වයි. එවිට එම ලෙන්ගතු පුද්ගලයාට කියන්න දරුවා සමග කෑම වේලක් ගන්න කියා. එම කෑම වේලෙහි අඩංගු වූ දේවල් නැවත කවද්දී ඔබට බතක් කරදිය හැකියි "මෙන්න පුතේ ඔයා එදා සීයත් එක්ක කාපු ඒවා අදත් තියනවා..." ආදී වශයෙන්... එම මිහිරි මතකයත් සමග සිඟිත්තා ආසාවෙන් එම කෑම වර්ගය රස බලාවි...

ඉතින් ඔබ දැන් දන්නවා දරුවා කෑමට සෙමින් සෙමින් යොමු කරන්නට උපකාරී වන පියවර කිහිපයක්...  පහත ඇති facebook share ක්ලික් කර අනෙකුත් අම්මලා, සහෝදරියන් හෝ මිතුරියන් සමග බෙදා ගන්නත් අමතක කරන්න එපා... 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK