WATCH Live CRICKET Select A Channel

09 May 2014

ඉතාලියේදී මව් පදවිය අතහැර දැමූ කාන්තාවක් - තරුණ දෙමව්පියන්ට හිතට ගත යුතු කතාවක්



womanබොහෝ දෙනකු මව් බිමෙන් පිට වී වෙනත් රටකට පැමිණෙනුයේ අලුත් සැප පහසු ජීවිතයක් සොයාගෙනය. එහෙත්, ඒ පැමිණීමම ඔවුන්ගේ විනාශයට මුල් වන්නේ නම් ඒ ඉතා අභාග්‍යයකි. වර්තමානයේ යුරෝපය ඇතුළු අනෙක් දියුණු රටවල් වෙත සංක්‍රමණය වී ඇති බොහෝ පවුල්වල ඇතුළාන්තය දුක්බර බව අසන්නට දකින්නට ලැබෙන විට දැනෙන්නේ කනගාටුවකි.
මෙසේ ලියන්නට සිතුණේ විහාරස්ථානයේදී මට හමු වූ එක්තරා තරුණ මවකගේ අනුවේදනීය කතාවය. ඇය තම කතාව මා සමගින් කීවේ කිසිවෙකු හෝ ඇයගේ කතාවෙන් අත්දැකීමක් ගනු ඇතැයි සිතාගෙනය. අපි ඇය නාලිනි යැයි හඳුන්වමු. මේ නාලිනිගේ කතාවය.
‘මම නාලිනි ලංකාවේ කොළඹ, මෙහෙට ඇවිත් දැන් අවුරුදු විස්සකට කිට්ටුයි. මගේ සැමියාත් අපේ ගෙවල් කිට්ටුව.
අපි පාසල් යන කාලෙම ඇති වුණ සම්බන්ධයකින් තමයි අපේ විවාහය සිද්ධ වුණේ. ගොඩක් තරුණ කා‍ලේ තමයි අපි විවාහ වුණේ. අපේ පවුල් දෙකම එකම තත්ත්වයේ සාමාන්‍ය පවුල්.  ඒක නිසාම කවුරුත් අපිට විරුද්ධ වුණේ නෑ. විවාහ වෙලා ටික කාලෙකින් මට පුතා හම්බ වුණා. ඊටත් අවුරුදු දෙකකට පස්සේ දුව, දරුවන් ඉස්කෝ‍ලේ යනකම් අපි  කරදරයක් නැතිව හිටියා. මහත්තයා කළේ ව්‍යාපාරයක්. ඒත් ඒකෙන් එන ආදායම අපිට සෑහුණේ නෑ. ඒක නිසාම මහත්තයා තීරණය කළා රට යන්න. හොයලා බලලා අන්තිමේ යාළුවෙක් මාර්ගයෙන් ඉතාලි යන්න පුළුවන් කියලා දැනගෙන ව්‍යාපාර එහෙම විකුණලා ඒ සල්ලිත් අරන් මහත්තයා මිලානෝ නගරයට ආවා.
එයාට හොඳ රැකියාවකුත් ඒ වැඩ කරන තැනින්ම නිවසකුත් ලැබුණු නිසා එයා ගිහින් අවුරුදු දෙකකින් විතර අපි තුන් දෙනාවත් ඉතාලියට ගෙන්න ගත්තා. එතකොට දුව හිටියේ දෙක වසරේ. පුතා ඊට ඉහළ, එයාලව අපි මෙහෙ පාසල්වලට දැම්මා. එයාලත් ටිකෙන් ටික මේ ජීවිතේට හුරුවෙන්න ගත්තා. මම රැකියාවක් කළේ නෑ. එහෙම කරන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. මහත්තයාගේ ආදායම අපිට හොඳටම සෑහුණා. අපිට ලස්සන වාහනයක්, සල්ලි කිසිම අඩුවක් තිබ්බේ නෑ. වසරකට පාරක් අම්ම තාත්ත නෑදෑයෝ බලන්න ගිහින් අපි ගොඩක් සතුටෙන් කාලයක් ජීවත් වුණා.
ඒත් ජීවිතේ හැමදාම එකම විදියටම තියෙන්නේ නෑ කියන එක පස්සෙයි මට තේරුම් ගියේ. දුවයි පුතයි ටිකෙන් ටික ලොකු වෙනකොට අපේ ජීවිතේ වෙනස් වෙන්න ගත්තා. මගේ මහත්තය ඉස්සරත් ටිකක් බිමට ඇබ්බැහි කෙනෙක්. ඒත් මම ඒකෙන් එයාව වළක්වන්න උත්සහ කළේ නෑ. එයා කෙහොමත් සැරපරුෂ කෙනෙක්. මම වුණත් හැදුණු සමාජය අනුව මම හිතුවෙ   ඒ දේවල් කරන එක ලොකු වැරැද්දක් නමෛයි කියලා. අපිට හැම සති අන්තෙම  ප්‍රිය සාද තිබ්බා. ඒවාට සහභාගි වෙලා අපි හැමදාම ගෙදර ආවේ පාන්දර. වෙන තැන්වල  සාද නැති  දවස්වල අපේ ගෙදරට කට්ටියම එන්න කියන්න අපි දෙන්නම හුරු වෙලා හිටියා. ඇත්තෙන්ම කිව්වොත් අපි ටිකෙන් ටික ඒ ජීවිතේට ඇබ්බැහි වුණා. සාදවලට යන එක යාළුවොත් එක්ක විනෝද වෙන එක තමයි අපේ ජීවිතේ එකම සතුට වුණේ. මමත් ඒ දේවල්වලින් ලොකු සතුටක් වින්දා. අවුරුදු ගාණක්  ඔය විදියට ගත වුණා. ඒත් ඒ දේවල්වලින් මගේ මහත්තයා බිමට ඇබ්බැහි වුණ බව තේරෙන කොට වෙන්න ඕනේ හැමදේම වෙලා.
එයා වැඩ කරන වෙලාවේ පවා බිලා ඉන්න පුරුදු වුණේ ඊට පස්සේ. මම එතකොට නම් ගොඩක් කලබල වුණත් ඒ වෙනකොට මගේ සීමාවෙන් පිටට හැමදේම ගිහින් ඉවරයි. ඒ වෙනකොට දුව ලොකු ළමයෙක් වෙලා.  එයාට අවුරුදු දාසයක්. පුතාත් ලොකුයි. අපි දුවට ලොකු උත්සවයක් පවා ගත්තා. අපි ගත කරපු විනෝදයෙන් පිරුණ හිතුවක්කාර ජීවිතේ අතරේ ඇත්තටම අපිට දරුවෝ ගැන හොයන එක මග ඇරුණා. කන්න බොන්න ඇඳුම් හැමදේම දුන්නත් එයාලගේ පස්සෙන් ඉඳන් හොයන්න අපිට කා‍ලේ තිබ්බේ නැත්තේ සමාජ  අශ්‍රය වැඩි නිසා. ඔහොම කාලයක් යනකොට තමා දුවගේ ලොකු වෙනස්කම් මට දකින්න ලැබුණේ. එයා ළඟින් නිතරම සිගරට් ගඳ දැනෙන්න ගත්ත නිසා මම එයාගේ පාසල් බෑග් එක නිකමට ඇරල බැලුවා. ඒකේ සිගරට් පැකට් දෙකක්ම තිබ්බා. මම එයාගෙන් ඒ ගැන  ප්‍රශ්නකරාම  ‘ඔයාලා හැදිල ඉන්න  මාව හදන්න’ කියලා දුව මට කිව්වා. මම එයාට කම්මුල් පාරක් ගැහුවම එයාත් මට ගැහුවා. මම එදා ගොඩක් ඇඬුවා.
දවසක් දුවගේ ඉස්කෝලෙන් ගෙදරට පණිවුඩයක් ආවා ඇවිත් විදුහල්පතිතුමාව හමුවෙන්න කියලා. මම ගිහින් විදුහල්පතිතුමාව හමු වුණාම දැන ගන්න ලැබුණේ දුව සති ගාණක් ඉස්කෝ‍ලේ ගිහින් නෑ. මට හිතාගන්න බෑ එයා හැමදාම ගෙදරින් ආවේ පාසල් යනවා කියලා. එදා මම ගෙදර ගිහින් දුවට සැර කරලා ඒක ඇහුවමත් එයා මාත් එක්ක රණ්ඩුවට ආවා. ඒත් ඊට ටික දවසකට පස්සේ පුතා ඇවිත් කියපු දේ නම් අම්මා කෙනෙක්ට දරාගන්න බෑ. දුව ඉස්කෝ‍ලේ යනවා කියලා පිරිමි ළමයි එක්ක එයාලගේ කාමරවලට යනවලු. මේකට පෙළඹිලා
තියෙන්නේ එයා ඉස්සර සම්බන්ධ වුණු තරුණයාගෙන්. මේ තරුණයෝ එකතුවෙලා මගේ දුවව හොඳටම රවටගෙන. අන්තිමේ ඉස්කෝලෙටත් ඒ බව ආරංචි වුණේ ෆේස් බුක් එකේ තිබ්බ ෆොටෝ වගයක් නිසා.
මේ දේවල් ආරංචි වුණාම මම දුවත් එක්ක හොඳටම රණ්ඩු වුණා. මම දුවට හොඳටම ගැහුවා. මම දුවට අඬ අඬා ගහද්දී දුව කීවේ ‘ඔයාල පිස්සුවෙන් වගේ මිනිස්සු එක්ක කෝලම් නටද්දී අපි ගැන මීට වඩා හිතන්න තිබ්බා කියලා’ මගේ මහත්තයා මොනවත් කිව්වේ නෑ. එයා ඉකි ගහ ගහ ඇඬුවා. එයාට ඒ වෙලාවේ කතා කරගන්න තරම් සිහියක් තිබ්බේ නෑ. ඇත්තටම දුව කිව්ව දේ අදටත් මට මතක් වෙනවා. දුවව ඉස්කෝලෙන් අපිට භාර දුන්නේ එයා අඩු වයසින් කරලා තිබ්බ වැඩ නිසා. එයා තරුණයෝ කීප දෙනෙක් අතින්ම විනාශ වෙලා කියලා එහිදී දැන ගත්තා.
උසාවි නියෝගයක් අනුව දුවව ළමා පරිවාස භාරයට ගත්තා. අවුරුදු දෙකක් යනකල් අපිට එයාව දකින්න බැරි වුණා. දුව එයාගේ ජීවිතේ හොඳටම විනාශ කර ගන්නකන් මට ඒ ගැන තේරුමක් තිබ්බේ නෑ. ඇත්තටම අම්මා කෙනෙක් විදියට මම මොනාද කළේ කියලා මට අදටවත් තේරුම් ගන්න බෑ.
ඒ අතරේ පුතාත් තාත්තගේම අඩි පාරේ යන්න ගත්තා. එයත් ඉස්කෝල් ගියේ විභාගය ගන්නකන් විතරයි. උසස් අධ්‍යාපනයට ගියේ නෑ. යාළුවෝ රංචු පිටින් එකතුවෙලා තැන් තැන්වල එක එක මත්ද්‍රව්‍යවලටයි දුරාචාරවලටයි එයා හුරුවුණේ හිතාගන්න බැරි තරම් වේගෙන්. මම අඬලා වැඳලා එයාට කිව්වා පුතේ නංගි වගේ ඔයා විනාශ වෙන්න එපා කියලා. එයා මට බැණලා එළව ගත්තා  මිසක් මාව ගනන් ගත්තේ නෑ. මේ වෙනකොට මගේ මහත්තයා බේබදුකම නිසාම ලෙඩ ගාණට වැටිලා හිටියේ.
 අන්තිමේ මහත්තයා සදාකාලික ලෙඩෙක් වුණා. දැන් රැකියාවක් කරගන්නත් බෑ මම තමයි එයාවත් බලාගන්නේ. ඒ දවස්වල හිටපු මහත්තයාගේ එකම මිතුරෙක්වත් නිකම්වත් අපිට කතා කරන්නේ නෑ. පුතාව හදාගන්න මට බැරි වුණා. එයා ඉඳහිට ගෙදර ඇවිත් යනවා. කොහේ ඉන්නවද කියන්නේ නෑ. ඇඟපුරාම පච්ච  කොටාගෙන එක එක අරුමෝසම් කෑලි මූණෙයි කන්වලයි එල්ලගෙන ඉන්න ඒ තරුණයා මගේ පුතා කියලා මට හිතා ගන්නත් වෙලාවකට අමාරුයි.
පරිවාසයෙන් එළියට ආපු දුව ආයෙත් අපේ ළඟට අවේ නැ. එයා සම්බන්ධ  වෙලා හිටපු තරුණයෙක් එක්කම ජීවත් වෙන්න එයා ළඟට ගියා.  ඉඳල හිටලා හම්බ වුණත් දුව අපි දෙන්නත් එක්ක  කැමැත්තෙන් කතා කරන්නේ නෑ.
දැන් එයා වැඩිහිටියෙක් නිසා අපිට එයාට විරුද්ධ වෙන්න අයිතියක් නෑ. අපි හතරදෙනාගේම ජීවිත නූල කැඩුණු සරුංගල් වගේ ඔහේ එක එක පැත්තට පාවුණා.
ඇය සුසුම් හෙලමින්  පසුතැවෙමින් පවසන කතාව පිටුපස බොහෝ තරුණ දෙමව්පියන්ට හිතට ගත යුතු කතාවක් ඇතිබව මට සිතේ . 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK