WATCH Live CRICKET Select A Channel

16 June 2014

දර්ගා නගරයේ සිදුවුයේ කුමක්ද?-විශේෂ විඩියෝව





ධර්ගා නගරය.....


ධර්ගා නගරය හරහා අලුත්ගම ගියෙමි. ධර්ගා නගරයේ එක් කෙළවරක අඹගහ හන්දිය අසල සිංහල පිරිසක් රැස් වී සිටිය හ. ධර්ගා නගරය පුරා ම පොලිසිය යොදවා තිබිණි. මුස්ලිම් කඩ වසා තිබිණි.
සිංහල කඩ හා සිංහල ද මුස්ලිම් ද ‍නො දන්නා කාගිල්ස් ෆුඩ් සිටිය ඇර තිබිණි. මහ පල්ලියේ සෑහෙන මුස්ලිම් පිරිසක් පාර දෙස බලාගෙන රැඳී උන්හ. ඔවුන් වෙතින් දිස් වුණේ කැළඹුණු ස්වභාවයකි. පල්ලියේ ගේට්ටු අගුලු ලා තිබිණි.ඒ ඉදිරිපිට පාරේ පොලිස් කුළු පොලු හමුදාව රැඳී සිටියේ ය.මුළු නගරය පුරා ම දැවැන්ත පොලිස් බලඇණියක් යොදවා තිබිණි.


අලුත්ගම නගරයේ බොදු බල සේනාව රැස්වීමක් පවත්වමින් සිටියේ ය. හාමුදුරුවරු විශාල පිරිසක් එයට සහභාගි වන බව වාර්තා විය.කටකතාවල නම් කියවුණේ තුන්දාහක් හාමුදුරුවරුන් එයට සහභාගි වන බවයි. එච්චර හිටි බවක් නො පෙනුණි.  


පසුගියදා මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ බව කියන අයගම සමිත හිමියන් පෙළපාලියකින් ධර්ගා නගරය හරහා ඔහු වසන කුරුඳුවත්ත පන්සලට රැගෙන යන්නට බොදු බල සේනාව සැලසුම් කර තිබිණි. නගරයේ කෙළවරක අඹගහහන්දිය පැත්තට වන්නට පාරෙන් ඇතුළේ පිහිටි පන්සලකට යන පාර බෞද්ධ කොඩිවලින් සරසා තිබිණි. 


වාර්තා වන ආකාරයට ගැටුම ඇති වී තිබෙන්නේ ‍බොදු බල සේනාවේ රථ පෙළපාලියට මුස්ලිම් අන්තවාදීන් විසින් ගල් ගැසීම නිසා ය. පිරිසක් තුවාල ලබා ඇති අතර කඩ හා වාහන ගිනි තබා තිබේ.


බේරුවල යනු සුවිසල් මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ආසනයකි. ඉස්සර එය බහු ආසනයක් විය. 1977දී බාකීර් ඒ. මාකර් එහි පළමු මන්ත්‍රීවරයා වන විට දෙවන මන්ත්‍රීවරයා වූයේ සිංහලයකු වූ ආර්.ජී. සමරනායක බව මගේ මතකයයි. 


මෙහි සිංහල හා මුස්ලිම් මිනිසුන් අතර දීර්ඝ කාලයක සිට යම් යම් ඝර්ෂණයන් තිබෙන මුත්, සාමාන්‍ය කාල වකවානුවලදී එහි ජනයා අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන්, සාමයෙන් ජීවත් වෙති. එකට ජීව‍නෝපායන්හි හා සමාජ කටයුතුවල යෙදෙති. එහෙත්, දෙපැත්තේ ම අන්තවාදීහු ද සිටිති. දෙජාතියේ ම සාමාන්‍ය ජනයා මෙම අන්තවාදින්ගේ බසින් පහසුවෙන් කුපිත වෙති. ජාති ආගම්වාදයෙන් අන්ධ වූ විට මේ දෙගොල්ලෝ ම කටයුතු කරන්නේ බුද්ධියෙන් නොවේ.


දර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ හාමුදුරු නමක් වන අයගම සමිත හාමුදුරුවන් ත්‍රිරෝද රියකින් ධර්ගා නගරයේ ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේ ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත් කීප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිස සමිත හිමියන්ට හා රියදුරාට පහර දුන් බවත් සමිත හිමියන් පොලිසියට පැමිණිලි කොට තිබිණි.


ලංකාවේ නීතියේ ආධිපත්‍යය ඉතා දුර්වල බව කවුරුත් දනිති. මෙවැනි සිදුවීම් සිංහල මිනිසුන් පමණක් ජීවත් වන ප්‍රදේශවලත් සිදු වේ. මා නිතර ගමන් කරන එක් අතුරු මාර්ගයක පදිංචි ජනතාව බොහෝ විට පාරේ යන්නේ වම් පැත්තෙනි. එම පටු පාරේ ධාවනය වන වාහනවල රියදුරන්ට එය මහත් වධයකි. දිනක් මා එසේ පාර අවුරමින් වම් පැත්තෙන් යමින් සිටි තරුණ පිරිසකට තරමක් තදින් නලාව හැඬවූවෙමි. මා ඔවුන් පසු කර යන අතර එක් අයෙක් මෙසේ කීවේ ය. "මේක අපේ පාර, හරිද?" මා ඔහු සමග වාදයට ගියා නම් ඔවුන් ද මට පහර දෙන්නට ඉඩ තිබිණි. එ් ජාතිවාදය නිසා නො වේ. හැබැයි ඉතින් හාමුදුරු නමකට ‍ගැසීම ප්‍රශ්නවලට අත වැනීමක් බව නො දන්නා කෙනෙක් ලංකාවේ නැත.


හාමුදුරුවන්ට පහර දුන්නේ මුස්ලිම් අන්තවාදියකු වන්නත් පුළුවන. නැතිනම් නහරකාරයකු වන්නත් පුළුවන. ජාති, ආගම් ගැන කැක්කුමක් නැතත්, නහරකාරයෝ ද සාමාන්‍යයෙන් ජාතිවාදය සමග පහසුවෙන් සෙට් වෙති. හාමුදුරුවන් අතර ද කළු පැහැයට හුරු අමුතු සිවුරු ජාතියක් අඳින නහරකාරයෝ සිටිති. එවැනි අය ඕනෑම ප්‍රජාවක සිටීම සාමාන්‍ය තත්වයයි.


හාමුදුරුවන් තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව ඇතැමෙක් කී හ. පෙරේදා අලුත්ගම උද්ඝෝෂණයටත් සහභාගි වූ සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක් කරන තරුණයෙක් මා සමග කීවේ එය බොරුවක් බවයි. විශ්‍රාමික වැඩිහිටියෙක් මා සමග පැවසුවේ හාමුදුරුවන්ට ලෙඩ නැති බව මුස්ලිම් දොස්තරකු කියන බවත්, ලෙඩ ඇති බව සිංහල දොස්තරකු කියන බවත් ය.


කිසිවකු තමන්ට පහර දුන් බව කියන අය තමන්ට අමාරුවක් ඇතත්, නැතත්, රෝහල්ගත වීම සාමාන්‍ය දෙයකි. කොහොම වුණත්, මෙතන මහා පහරදීමක් නම් සිදු වී නැති බව පෙනේ.


පොලිසිය පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට නො ගත් බව කියමින් සිංහලයෝ ගාලු පාර අවුරමින් උද්ඝෝෂණය කළ හ. සාමාන්‍ය කෝලාහලයක් වූ හැටියේ සිදුවීම වූ තැනට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා පොලිසියක් ලංකාවේ නැති බව ද සාමාන්‍ය තත්වයකි. මෙම තත්වය මත පැතිරුණු කටකතාවක් කෙතරම් දුරදිග ගොස් තිබුණා ද යත් එක් පුද්ගලයකු කී‍වේ හාමුදුරුවන්ට පහර දීම සඳහා පොලිසිය උදව් කර තිබුණු බවයි.


අන්තිමේදී ‍පොලිසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී. ඒ වනාහි නීතිමය ක්‍රියාමාර්ගවල ආරම්භයයි. 


සති කීපයකට පෙර ද මෙම නගරයේ මුස්ලිම් කඩයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී. එයට හේතුව ලෙස දැක්වුණේ මුස්ලිම් පුද්ගලයකු සිංහල පුද්ගලයකුට කළ ලිංගික අපචාරයකි. විෂම වාර්ගික වූ මෙම ලිංගික අපචාරය හැරුණු විට තවත් එවැනි ම විෂම වාර්ගික ලිංගික අපචාර ද, සම වාර්ගික ලිංගික අපචාර ද ඕනෑ තරම් මේ රටේ සිදු වේ. එහෙත්, ඒ හැම එකක් සම්බන්ධයෙන් ම වාර්ගික හෝ වෙනත් ස්වෝත්තමවාදී කලබල ඇති වන්නේ නැත.


අද සිළුමිණ පුවත්පතේ මුල් පුවත බේරුවල ගැන ය. එහෙත්, ඒ බේරුවල ගැන ජාතික හෙළ උරුමයේ දිලන්ත විතානගේ කරන අන්තවාදී ප්‍රකාශයකි. පහත පළ වන්නේ එම පුවතින් උපුටා ගත් කොටසකි.


"අලුත්ගම ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් බව කියන සිද්ධිය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක අනුර කුමාර දිසානායක නිශ්ශබ්දව සිටින්නේ කුමක් නිසා දැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා ප්‍රශ්න කරයි.


තම සංවිධානය මුස්ලිම් අන්තවාදී කල්ලිවල ක්‍රියා කලාපය මීට පෙර විවේචනය කළ අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් නිවේදන නිකුත් කරමින් තම සංවිධානයට විරෝධය පළ කළ බව පවසන විතානගේ මහතා මුස්ලිම් අන්තවාදීන් සිදු කළ මේ ප්‍රහාරය පිළිබඳව එම පක්ෂය නිහඬව සිටින බව ද කියයි.


ජනතා විමුක්ති පෙරමුණේ අතීත හැසිරීම් හේතුවෙන් වර්ෂ 1971 දී සහ වර්ෂ 1988 - 89 දී සිංහල බෞද්ධ තරුණයන් විශාල වශයෙන් මිය ගිය බව පැවසූ විතානගේ මහතා වර්තමානයේදී ද ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයා තම සංවිධානය කරන කියන දේ හරි හැටි සොයා නොබලා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ස්ථාවරයක පසුවන බවට චෝදනා කරයි.


සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් පෙන්වා දීම හැර වෙනත් කිසිදු වරදක් බොදු බල තරුණ සංවිධානය කර නොමැති බවත්, තම සංවිධානය අකටයුත්තක් වරදක් සිදුකර ඇත්නම් පෙන්වා දෙන ලෙස මේ පිළිබඳ අදහස් දැක්වූ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ද කියා සිටියහ."


මහජන මුදලින් නඩත්තු වන සිළුමිණ පුවත්පත මෙවැනි ප්‍රවෘත්තියක් අද දවසේ සිය මුල් පුවත ලෙස පළ කිරීමෙන් ඇත්තට ම කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉනිමං තැබීමකි. 


බොදු බල සේනාව අද අලුත්ගම රැස්වීමේදී කරන්නට සිටි කතා සිළුමිණ කල් තබා ම ප්‍රධාන පුවතේ පළ කර තිබිණි. එය ජවිපෙ විරෝධී ප්‍රකාශයක් ලෙස පෙනුණත්, මේ මොහොතේ එවැනි මුල් පුවතක් පළ කිරීමේ අරමුණ ජනතාව කුපිත කර වාර්ගික අසමගිය ඇති කිරීම බව ඉතා පැහැදිලි ය. එහෙම නැතිනම්, ජවිපෙ නායකයාට බොදු බල සේනාව දක්වන ප්‍රතිචාරය මුල පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළ කරන සිළුමිණ පත්තරය බොදු බල සේනාවේ නිල පුවත්පත විය යුතු ය. 


වාර්ගික, ආගමික හැඟීම් අවුස්සමින් මිනිසුන් සෙසු ප්‍රජාවන්ට එරෙහිව කුපිත කිරීම ඉතා පහසු කාර්යයකි.දැන් මෙම ලිපියට ප්‍රතිචාර දක්වන ඇතැමෙක් ද කරනු ඇත්තේ වාර්ගික අගතීන් සමග එක් වී අප ප්‍රශ්න කිරීමයි. 


අප මුස්ලිමුන්ට පක්ෂ අය බව ඔවුන් කියනු ඇත. එහි ඇත්තක් නැත්තේ ම නැත. මන්ද, ප්‍රමාණාත්මකව ගත් කල මුස්ලිම් ජනතාව මෙහි සුළුතර ප්‍රජාවකි. වැඩි පිරිසක් එක් වී සුළු පිරිසකට පහර දෙන කල සුළු පිරි‍සේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මිනිස්කම වෙනුවෙන් අප කළ යුතු යුතුකමකි. ඔබ කියන්නේ අප සියලු දෙනා එක් වී මුස්ලිමුන්ට පහර දිය යුතු ය කියා ද? අප නම් එයට එක් වන්නේ නැත. අප ප්‍රශ්න විසඳා ගත යුත්තේ අප සතු බලයෙන් නොව යුක්තියෙනි. 


මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීහු සිටිති. ඕනෑම ප්‍රජාවක එවැනි අය සිටිති. එවැන්නන් සිටියා ය කියා බහුතර ශක්තිය යොදා ඒ මුළු ප්‍රජාවෙන් ම පලිගැනීම වැරදි ය. 


අනෙක් පැත්තෙන් සුළුතර ජාතිවාදයන් මතු වන්නේ බහුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව බව වීම ද ඇත්තකි. සමහර විට සුළුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව නැවත වටයකින් බහුතර ජාතිවාදයන් ශක්තිමත් වන අන්දම ද දැකිය හැකි ය. 


කෙසේ වුවත්, අන්තවාදයට පිළිතුර අන්තවාදය වන්නේ නැත. අන්තවාදයේ පිළිසරණ සොයන ජාතීහු ඇත්තෙන් ම සියතින් ම සිය වල කපා ගනිති. 


මෙය මුස්ලිම් ජනතාවට බලපානු ඇත්තේ මෙසේ ය. මුස්ලිම්වරු වෙළඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන් අනිවාර්යයෙන් ම සියලු ප්‍රජාවන් සමග සුහදව කටයුතු කළ යුතු ය. ඔවුන්ට ලාභ ලැබිය හැක්කේ එවිට ය. සිංහල ජනයා අතර ඇති වන මුස්ලිම් විරෝධය ඔවුන්ගේ ව්‍යාපාරවලට තාවකාලිකව හෝ බලපානු ඇත.මුස්ලිම් මිනිසුන් මෙය තේරුම් නො ගන්නා නිසා ඔවුන්ට තේරෙන භාෂාවකින් එය තේරුම් කර දිය යුතු බව මා සමග කතා කළ එක් ගුරුවරයෙක් පැවසී ය. එහෙමය කියා මුස්ලිම් ජනතාව සිංහලයන්ගේ සියලු අකටයුතුකම් ඉවසිය යුතු ය කියා අප නම් කියන්නේ නැත. කිසිවකු තවෙකෙකුට යටත් වී ජීවත් වීම ප්‍රජාතන්ත්‍රවාදය නො වේ.


ජාතික පදනමින් සිංහලයන්ට පහර දීමට මොළයක් තිබෙන මුස්ලිම්වරුන් ඉදිරිපත් වේ යයි සිතිය නො හැකි ය. හේතුව, වාර්ගික වශයෙන් ඔවුන්ගේ සුළුතරකමයි. සිංහල ගම්මාන මැද බේරුවල වැනි කුඩා ජනාවාසවල ජීවත් වන මුස්ලිම්වරුන්‍ට වාර්ගික පදනමින් ගැටුම් ඇති කරගෙන පැවතිය නො හැකි ය. මා මේ බව පෙන්වා දුන් විට එක් සිංහල මිනිසකු පැවසුවේ මුස්ලිම් මිනිසුන්ට මැද පෙරදිග හා පකිස්තනය වැනි රටවලින් ආධාර ලැබෙන බව හා ඔවුන් සතුව අවි ආයුධ තිබෙන බවයි. නයින් ජීවත් වන්නේ හුඹස්වල බව ඇත්ත ය. එහෙත් අප බිය විය යුත්තේ නයින්ට මිස හුඹස්වලට නො වේ. 


මුස්ලිම්වරුන් ලංකාවේ සිංහලයන් අභිභවනය කිරීම ඉදිරි සියවස් ගණනාවක් තුළදීවත් අපේක්ෂා කළ හැකි දෙයක් නො වේ. මුස්ලිම්වරුන් සිංහලයන් අභිභවනය කරනු ඇතැයි කියා ඔවුන් තුළ පදනම් විරහිත භීතියක් නිර්මානය කිරීම සිංහල ජාතිවාදීන්ගේ උපායකි. 


මෙම දීර්ඝ ලිපිය අවසානයේ මට කියන්නට තිබෙන්නේ මෙයයි. අද වන විට ඇති වී තිබෙන මුස්ලිම් විරෝධී කළු ජූලියක් නිර්මානය වන තත්වය ඉතා පැහැදිලිව ම අන්තවාදීන් විසින් නිර්මානය කරන ලද්දකි. මෙයට මුල පිරුවේ සිංහල බෞද්ධ අන්තවාදීන් වුව ද මුස්ලිම් අන්තවාදීහු ද එයට දායක වූ හ. මෙයින් දෙපැත්තේ ම අන්තවාදීන් ලාභ ලබති. ඔවුන්ට විදේශ ආධාර, විදේශ චාරිකා, යාන වාහන, මිළ මුදල්, කාර්යාල, නිවාස, ලිංගික සැප වැනි සුඛ විහරණයන් රැසක් මේ හරහා ලැබී තිබේ. ඒවා දිගට පවත්වා ගැනීමටත්, තමන් සමග එක් වන සෙසු අයටත් ඒවා සම්පාදනය කර දීමටත් මේ අයට තව තවත් ජාතිවාදය අවුළුවන්නට සිදු වනවා ඇත. 


රටක යහපත් පාලනයක් තිබිය යුත්තේ මෙවැනි ප්‍රවණතාවන් පාලනය කර ගැනීමට ය. නැතිනම්, රට දිනෙන් දින ම යනු ඇත්තේ අගාධයට ය. 

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK