WATCH Live CRICKET Select A Channel

18 June 2014

රඹුටන් ඇටය හිරවුණොත් මරණයට පත්විය හැකියි

මේ රඹුටන් වාරයයි. රසවත් මෙන්ම අලංකාර පළතුරක් වන රඹුටන් නිසා සිදුවන අනතුරු ගැන අපිට අසන්නට ලැබෙන්නේ බොහෝ දෙනෙකුගේ නොසැලකිලිමත්කම නිසයි. විශේෂයෙන්ම මවුපියන් විසින් දරුවන්ට රඹුටන් වැනි පලතුරු ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ රඹුටන් ඇට හිරවීම නිසා අසාධ්‍ය තත්ත්වයට මෙන්ම මරණයට පවා පත්වන දරුවන් ගැන මේ කාලයේදී අසන්නට ලැබීම නිසයි.


දරුවන් බොහෝ සෙයින් ආසා කරන පලතුරක් වන රඹුටන් නිසියාකාරව දරුවන්ට ලබා නොදීම නිසා සිදුවන අනතුරුවලින් දරුවන් ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ඇත්තේ වැඩිහිටියන් සතුවයි.


මේ රඹුටන් වාරයේදීත් රඹුටන් ඇටයක් සිරවීමෙන් කුඩා සිඟිත්තියක් මිය යාමේ පුවතක් අසන්නට ලැබුණේ කාගේත් සිත් කම්පනයට පත්කරවමිනුයි.

එහිදී පෙනී ගිය ප්‍රධාන කාරණය වූයේ මූලික ප්‍රථමාධාර ලබාදීමේ නොහැකියාව නිසා දරුවා අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති ආකාරයයි.

දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට මූලික ප්‍රතිකාර නිවැරදිව ලබාදීම ඉතාම වැදගත් වෙනවා.

එවැනි අවස්ථාවකදී ලබාදිය යුතු මූලික ප්‍රතිකාර පිළිබඳව අදහස් දක්වන්නට අප එක්කර ගත්තේ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවියයි.

ඇය දැක්වූ අදහස් මෙසේයි.

නොතේරෙන දරුවන්ට රඹුටන් වැනි පලතුරු ලබා දීමේදී වැඩිහිටියන් ඉතාම පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම එවැනි පලතුරු දරුවන්ට ලබා දීමේදී ඇට ඉවත්කොට ලොඳ සහිත කොටස පමණක් දරුවන්ට ලබා දෙන්නේ නම් එය වඩාත්ම සුදුසු සහ අනතුරකින් දරුවා බේරාගැනීමේ වඩාත් සුදුසුම ක්‍රමය වෙනවා.

යම් විදියකින් උගුරේ රඹුටන් ඇට වැනි යමක් සිරවීමකදී දරුවා රෝහලට රැගෙන යාමට පෙර දරුවාට ප්‍රථමාධාර දීම වැදගත් වෙනවා.

ප්‍රථමාධාරකරු හැටියට ඔබ දරුවාගේ උස ප්‍රමාණයට සිටින සේ දණගසා දරුවාගේ උදරය වටා ඔබට නුපුරුදු අත යවා දරුවාගේ කොන්ද පෙදෙසින් මුහුණ පහළට සිටින සේ දරුවා නවන්න. ඉන්පසු දරුවාගේ උරපතු දෙක අතරට ඔබට පුරුදු අතේ අත්ලේ අඩිය තබා පහරවල් 5 ක් එක දිගට ගසාගෙන යන්න. මෙසේ කරද්දී දරුවාගේ උගුරේ සිරවී ඇති රඹුටන් ඇටය හෝ වෙනත් යමක් ඇත්නම් එය දරුවාගේ උගුරට පැමිණෙනවා. එවිට දරුවාට හුස්ම ගැනීම පහසු කෙරෙනවා.

එමෙන්ම උගුරේ හෝ ස්වසන මාර්ගයේ රඹුටන් ඇට හෝ වෙනත් යමක් සිරවී ඇත්තේ දැනුම් තේරුම් ඇති දරුවෙකුගේ නම් දරුවාට හයියෙන් කහින්න උපදෙස් දෙන්න. එවිට එක්වරම කැස්ස සමඟ සිරවී ඇති දෑ එළියට පැමිණෙනවා.

එමෙන්ම දරුවා උඩුබැලි අතට තබා දරුවාගේ පපුව මානයෙන් උදරයට ඉහළින් අත්දෙක තබා තෙරපීම් පහක් ලබා දෙන්න. එවිට සිරවී ඇති දෙය එළියට පැමිණීම සිදුවෙනවා.

මෙම ප්‍රථමාධාර ලබාදීමේදීත් උගුරේ සිරවී ඇති දෙය ඉවත් නොවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ළඟම ඇති රෝහලට දරුවා ගෙන යා යුතු වෙනවා.

රඹුටන් ඇට හෝ වෙනත් යමක් උගුරේ සිරවීම නිසා දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවී ඇත්නම් කඩිනමින් ප්‍රතිජීවන වැඩසටහන ඇරඹිය යුතු වෙනවා.

මේ යටතේ පපු තෙරපුම් වාර 30 ක් එක දිගට ලබාදීම කරමින් කඩිනමින් රෝහල් ගතකිරීම කළ යුතුයි.

විශේෂයෙන්ම මේ කාලයේදී රඹුටන් වැනි පලතුරු දරුවන්ට ලබා දීමේදී මවුපියන් මෙන්ම වැඩිහිටියන් ද වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔබේ සැලකිල්ල අනතුරු අවම කර ගැනීමට හේතු වෙනවා.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK