WATCH Live CRICKET Select A Channel

24 April 2014

24-04-2014 අපි ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් බව බුද්ධිමත් ක්‍රීඩාලෝලීන් දැනගෙන හිටියා

ශ්‍රී ලංකාවට විස්සයි 20 ලෝක ක්‍රිකට් කිරුළ ගෙනා ලසිත් මාලිංග
2014 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය අපේ මවුබිමට දිනා දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් වාසනාවන්ත ක්‍රීඩකයා ඔහුයි.
තරග 3 කට පමණක් නායකත්වය දී ලෝක කුසලානයක් දිනාගත් නායකයා ලෙසින් ද ඉතිහාසයට එක්වන ඔහු සිය සුවිශේෂී පන්දු යැවීමේ ඉරියව්ව නිසාවෙන් එලෙස පන්දු යවන ලෝකයේ එකම පන්දු යවන ක්‍රීඩකයා ද වනවා. ‘රත්ගම එක්ස්ප්‍රස්’ ‘ස්ලිංගා’ යන අන්වර්ථ නාමයන් ගෙන් ක්‍රීඩාලෝලීන් හඳුන්වන ක්‍රිකට් සගයන් මෙන්ම
සමීපතම මිතුරන් ‘මාලී’ ලෙසින් හඳුන්වන මාලිංග සුවිශේෂී ලෝක වාර්තා රැසකටම හිමිකම් කියනවා. ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර රසඳුන සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඔහු, ලෝකයක් දිනා මවුබිමට පැමිණි පසු යළිත් රසඳුනට අදහස් දක්වන්නට පසුගිය දා එක්වුණා.
පළමුවෙන්ම මේ ලැබූ ජයග්‍රහණයේ සතුට ඔබට දැනෙන හැටි කියන්න.
කණ්ඩායමක් විදිහටත් නායකයෙක් විදිහටත් ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් පටන් ගත්තු කාලෙ ඉඳල ලබපු දෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය නිසා. පළමුවැනි වරට අර්ජුන අයියා ලබා දුන්නා නායකත්වය දරල 1996 දී. දෙවැනි එක මම නායකත්වය දරල කණ්ඩායමක් හැටියට ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණා. නායකත්වය කියන්නෙ ආභරණයක් නෙවෙයි. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ ක්‍රිකට් නවත්තන්න කලින් මේ වගේ ඓතිහාසික දෙයකට දායකත්වය නායකත්වය ලබා දෙන්න හැකිවීම ගැන.
අයි පී එල් තරගාවලියෙන් ලැබු අත්දැකීම් උපකාරී වුණු බව පවසා තිබුණා මේ ජයග්‍රහණයට.
ඇත්තටම ගොඩක් සතුටුයි. මම නායකත්වය දරද්දි ඉන්දියානු කණ්ඩායම මේ විදිහට මුහුණට මුහුණ හම්බ වෙච්චි එක ගැන. මොකද මම ඔවුන්ගෙ රටේදි ඔවුන් සමඟ T20 තරගාවලි අවුරුදු 6 ක් ක්‍රීඩා කරල තියෙනවා. ඉතින් මේකත් මට තවත් එක් තරගයක් විතරයි. ඒ නිසා මම දන්නව ඔවුන් මොන ආකාරයට ද පිත්ත හසුරුවන්නෙ කියල. වැඩියෙන් ලකුණු ලබාගන්න බලාපොරොත්තු වෙන්නෙ මොන පන්දු වාර වලදී ද මොන වෙලාවෙදි ද කියල මට ඒ හැම දෙයක්ම ගොඩක් හොඳින් දැනගෙන හිටපු නිසා මගේ පන්දු යවන්නන්ට ඒ දේ කියල දීල ඔවුන්ට මේ දේ කරන්න කියල කියන්න හැකියාවක් තිබුණා ශක්තියක් තිබුණා මම ඒ ගැන දන්න නිසා.
මම අයි පී එල් නිසා දැනගෙන හිටිය දේ මගේ ක්‍රීඩකයන්ට කෙටි කාලයක් තුළ ලබා දීල ඔවුන්ගේ දක්ෂතාවලින් උපරීම ප්‍රයෝජන ලබාගත්ත නිසා තමයි එතරම් ප්‍රබල පිතිකරුවන් ඉන්න ඉන්දියානු කණ්ඩායම ලකුණු 130 කට වගේ සීමා කළේ. ඉතින් ඒ දේ ගොඩක් සාර්ථක වුණා. ක්‍රිකට් ආයතනයත් මට ඒ හැම අවස්ථාවකම අයි පී එල් යන්න දීල දුන්නු සහයෝගයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනව මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් අනෙක් ක්‍රීඩකයන්වත් එතනට යොමු කරාවි කියලා. මොකද ඔවුන් එතනදි ලබාගන්න දැනුම, අත්දැකීම් වටින නිසා. මම හිතන්නෙ වචනයෙන් නිම කරන්න බැරි අත්දැකීම් එතැනදි ඔවුන් ලබා ගන්නවා.
අපේ ක්‍රීඩකයින් අයි පී එල් වැනි තරගාවලිවලට යන එකට සමහරු විවිධ චෝදනා කරනවා.
අයි පී එල් වැනි තරගාවලිවලට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ ලෝකයේ ඉන්න ප්‍රබලම ක්‍රීඩකයන්ට පමණයි. ඒකෙදි මුදල් ලැබෙන එක එක පැත්තක්. නමුත් ඒ හැම දේම ලැබෙන්නෙ ක්‍රීඩකයකුගෙ දක්ෂතාව නිසා. ඒ නිසා ක්‍රීඩකයකුට මේ වගේ ආරාධනා වැඩියෙන් එනකොට ඒ ක්‍රීඩකයා මොන තරම් දක්ෂයෙක් ද කියන එක පේනවා. සමහර අය මේවාට එක එක දේවල් කියනවා. ඒ දරාගන්න බැරි නොහැකියාවත් කුහකත්වයත් නිසා කියන දේවල්. ඒ නිසා ක්‍රීඩකයින් වශයෙන් අපි ඒවට උත්තර දෙන්න යන්න අවශ්‍ය නෑ.
අවසන් තරගයේ ඔබ කියන සැලසුම ගැන විස්තර කළොත්...
මම පළමුවෙන්ම නායකත්ව දැරුවේ නවසීලන්තය සමඟ තරගයේදී. ඊට පස්සෙ මට තේරීම් කමිටුව කතා කරල කිව්ව ඔයා දිගටම ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායකත්වය දරනව චන්දිමාල් නායකත්වයෙන් ඉවත් කළා කියලා. මම දැනගත්ත මට ලොකු දෙයක් කරන්න තියෙනව කියල මේ තරගාවලිය ජයග්‍රණය කරන්න. මම පන්දු යවන්නෙක් විදිහට T20 තරග 160 ගණනක් ක්‍රීඩා කරල තියෙනවා. මම තමයි ලෝකයේ වැඩිම T20 කඩුලු ලාභියා. ඒ වගේ ම T20 ලෝක කුසලාන තරගවලදීත් ලෝකයේ වැඩිම කඩුලු ලාභියා අයි පී එල් වලත් එහෙමයි. ඉතින් මං හිතනවා T20 සම්බන්ධයෙන් මට අමුතුවෙන් දේවල් පුරුදු වෙන්න වුවමනාවක් නෑ. ඒ වගේම මට හැමෝටම වඩා අත්දැකීම් තියෙනවා T20 වල.
ඉතින් මම දැනගත්තා මගේ ඒ අත්දැකීම් ප්‍රයෝජනයට ගන්න ලැබුණු හොඳම අවස්ථාවක් තමයි මෙය කියල. මම මගේ පුහුණුකරුගෙනුත් ට්‍රේනින් ඔෆිසගෙනුත් ඉල්ලා සිටියා මට අවස්ථාවක් ලබා දෙන්න මගේ පන්දු යවන්නන් එක්ක තනියම කතාබහ කරල සාකච්ඡා කරන්න. ඔවුන් ඒ අවස්ථාව මට ලබා දුන්නා. මම ඊට පස්සෙ මට අවශ්‍ය පන්දු යවන්නන් එක්කෙනා හෝ දෙන්නව මගේ කාමරයට ගෙන්නල අපේ ඇනලයිස නිරෝෂන් එක්ක කතාබහ කරල අවශ්‍ය වීඩියෝ ක්ලිප්ස් අරගෙන ඒ අයට දැනුම ලබා දුන්නා. එක් එක් පිතිකරුවා අරගෙන ඔවුන් පන්දුවට පහර දෙන ආකාරය පෙන්වල පන්දු යැවිය යුතු විදිහ කතා කළා. ඔයා ඔයාට පුළුවන් දේ කරන්න නමුත් මම ඔයාව මේ වෙලාවේ ගේන්න බලාපොරොත්තු වෙනවා කියල ඔවුන් දැනුවත් කළා. මුල් ඕවර හයේ ද මැද හරියෙ ද අවසන් පන්දු වාරයෙදී ද මේ පන්දු යවන්නන් දාන්න ඕන කියන දේ මම ප්ලෑන් කරල තිබුණා.
මට පන්දු යවන්නන් 5 දෙනෙක් හිටියා. ඒ වගේම අතිරේක පන්දු යවන්නන් දෙදෙනෙකුත් හිටියා. ඒ ඩිල්ෂාන් සහ තිසර පෙරේරා. නමුත් මගේ ප්‍රධාන බලාපොරොත්තුව වුණේ අවශ්‍ය පන්දු යවන්නන් පාවිච්චි කරන්න. මම ඒ අවස්ථාවේ තීරණය කළා පන්දු යවන්නන් 5 දෙනෙක් හිටියත් මට කඩුලු ලබා ගන්න බෑ ඒ පස් දෙනාගෙන්ම. මොකද T20 තරගාවලියක් සැලසුම් කරනකොට පන්දු යවන්නන් 5 දෙනෙක් ඉන්නවනම් කඩුලු ලබාගන්න පුළුවන් පන්දු යවන්නන් තුන් දෙනෙක් වෙනම තියාගෙන අනික් පන්දු යවන්නන් දෙන්නා කඩුලු ලබාගත්තොත් බෝනස් එකක් හැටියට හිතල සැලසුම හදන්න. ඉතින් මම හිතනවා මම සාර්ථක වුණා කියලා.
රංගන හේරත්, සචිත්‍ර සේනානායක සහ මම තමයි පාවිච්චි කළේ පිතිකරුවන් වේගයෙන් පහර දෙන හැම අවස්ථාවකම. ඉතින් මම අනික් කට්ටියට කියල තිබුණේ මට ඔයගොල්ල 4 පහරවල් නවත්තන්න බෝල් කරල දෙන්න කියලා. තරගයට පෙර මම දැනගෙන හිටියා ඔවුන්ගෙ හැකියාවන් මොනව ද කියලා. ඒ වගේම ඔවුන් දැනගෙන හිටියා මම බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා. ඒ අනුව කණ්ඩායමේ සැලසුම හැදුව. ක්‍රීඩකයන් තෝරා ගත්තා. අපි ජයග්‍රහණය කළා.
වේග පන්දු යවන්නෙක් ලෙස නායකත්වය දැරීම ගැන මොකද හිතන්නෙ.
මම පන්දු යවන්නෙක් විදිහට නායකත්වය දරපු නිසා මට හැකියාව තිබුණා ඕනම පන්දු යවන්නකුට ඒ ඒ අවස්ථාවලදී මොනවද කරන්න ඕන කියන එක කියන්න. මම අගය කරනවා මගේ දැනුම එළියට දාල රටට ජයග්‍රහණයක් රැගෙන ඒමට හැකිවීම ගැන.
මහේල සංගා ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ නැතිනම් හිටපු නායකයන්ගේ සහයෝගය...
සමහර අය ඒක සැහැල්ලුවක් විදිහට දැකල තිබුණා මහේල ෆීල්ඩ් එක හැදුවා කුමා ‍ෆීල්ඩ් එක හැදුව කියලා. මාලිංග මොනවත් කළේ නෑ කියලා. තවත් අය ඒක මට සහයෝගය ලබාදීමක් විදිහටත් දැකල තිබුණා. මහේල සංගා නායකත්ව දරපු විදියටත් දැක්කා.
ඉතින් මට ඒ ගැන කියන්න තියෙන්නෙ නායකයෙක් වුණාම දැනගන්න ඕන කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයාගේ සිට ළාබාල ක්‍රීඩකයා දක්වා ඔවුන්ගේ උපරීම දක්ෂතාව කණ්ඩායමට අරගන්න. ඉතින් ඒ දෙන්න මට වඩා දැනුමින් සපිරි දෙන්නෙක් නම් ඒ දැනුමින් ප්‍රයෝජන ලබාගන්න මට පුළුවන් වෙන්න ඕන. සමහර විට ඔවුන් ගන්න තීරණත් මම ගන්න තීරණත් දෙකම එක වුණොත් ඒක ජයග්‍රහණයට විශාල තල්ලුවක් . හැබැයි සාකච්ඡා කරන්න ඕනැ නිවැරැදි තීරණයකට එන්න. ඉතින් මම හිතනවා මේ හැම තීරණයක්ම සාර්ථක වුණා කියලා.
බොහෝ දෙනාගේ මතය වුණේ ඉන්දියාව සමඟ පැවැති අවසන් තරගයේ පළමුවෙන්ම පන්දුවට පහර දිය යුතුයි කියලා. ඒත් ඔබ ගත්තේ විරුද්ධ තීරණය.
අපි හැමකෙනා ළඟම එක එක මත තිබෙනවා. බොහෝ විට කියන්නෙ ඉස්සෙල්ල බැට් කරල අනිත් පැත්තට ප්‍රෙෂර් එක දාමු කියලයි. ඒ හැම දෙයක්ම තියෙද්දි මම නායකයා විදිහට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට කතා කරල මේ හැමකෙනා එක්කම කතාබහ කරල මේ තීරණය ගත්තා. මොකද ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් වැඩි නිසා ඔවුන් ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කරන්න දක්ෂයි.
ඉතින් මුලින් ඔවුන්ට පන්දුවට පහර දීමට අවස්ථාව දුන්නා. මොකද ඔවුන්ගේ පන්දු යැවීම එතරම් තර්ජනයක් තිබුණේ නෑ. කෙසේ හෝ අපේ බලාපොරොත්තු වුණේ ඔවුන් ලකුණු 140 ක් 160 ත් අතර සීමා කරල ඒ ලකුණු ගණන හඹා ගිහින් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙයි කියලා. ඉතින් අපි හිතපු දේත් සාර්ථකයි. කරන්න ගිය දේත් සාර්ථකයි. ඒක නිසා තමයි ඔවුන් 130 කට සීමා කරල මේ තරගය පහසුවෙන් ජයග්‍රහණය ලැබුවෙ.
අවසන් සම්මුඛ සාකච්ඡාවේදී ඔබ මා හා පැවසුවා මේ වගේ තරගවලට ඕන ටැක්ටික්ස් කියලා. වයිඩ් යෝකර් එක එහි ප්‍රතිඵලයක් ද?
කලිනුත් කිව්වෙ මම අයි පී එල් ගහල ලබාගත්තු අත්දැකීම් රාශියක් තියෙනවා කියලා. ඒ නිසා තරගයට පෙර පන්දු යවන්නන්ට, අදහසක් දුන්නා මේ වගේ තත්ත්වයක් ආවොත් මේ ආකාරයට පන්දු යැවිය යුතුයි කියලා කෙසේ හෝ පන්දු 6 ම.
මම හිතන්නෙ නුවන් කුලසේකරත් මමත් චම්පක රාමනායක සර් යටතේ වසර 10 ක් 12 ක් පුහුණුවීම් කරල නිපුණත්වය ලබල තියෙනවා. ඉතින් ඔවුන් සමඟ කතා කරල එදා සිට දක්වපු දක්ෂතාවයක් තියෙනවනම් ඒකට උනන්දුවෙන් කළ පුහුණුවීම් තමයි බලපෑවෙ.
අපට හිතුමතේ ඒ වගේ පන්දුවක් යවන්න බෑ. වයිඩ් යෝකර් එකක්. අපි සපත්තු තියල කෝන් තියල ඒ ඒ පන්දුව යවල දැඩි පුහුණුවීමක් කරපු නිසා තමයි ඒ හැම දෙයක්ම ඉගෙන ගත්තෙ.
ඉතින් නුවනුයි මායි සුරංග ලක්මාලුයි චම්පක සර් එක්ක හිටිය. චම්පක සර් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෑත කාලයේ දායාද කළ පන්දු යවන්නන් සියලුම දෙනා ඔහු හොයාගත්ත පන්දු යවන්නන්. මං හිතනවා ඔහුට අපටත් වඩා සතුටක් තියෙනවා මේ කුසලානය ජයග්‍රහණය කිරීම ගැන. මොකද නුවන් මම සුරංග ඔහු පොඩි කාලෙ සිට දන්න අද දක්වාම පුහුණුවීම් කටයුතු කරන කෙනා නිසා. ඉතින් මම හිතනවා අපි දැනගෙන හිටියා අපිට මේ දේ කරන්න පුළුවන් කියලා.
මම ඔවුන්ට ලබා දුන්නා මේ ආකාරයෙන් පන්දු යැවිය යුතුයි කියන අදහස. ඉතින් මම හිතනවා ඒක සාර්ථක වුණා කියලා. හැම දෙනාම දැක්ක අපි අවසන් පන්දු ඕවර 4 ටම ලකුණු 19 යි ලබා දුන්නෙ.
ලංකාවට ආවම ලැබුණු පිළිගැනීම.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 96 ලෝක කුසලානය අර්ජුන අයියා ගෙනත් දුන්නට පස්සෙ අපි අවුරුදු 7 ක් තුළ ලෝක කුසලාන තරගාවලි 6 කට සහභාගි වෙලා 5 ක අවසන් තරගයට ඇවිත් තියෙනවා. හැමදාම අනුශූරයො වුණා. ඉතින් කණ්ඩායම විදිහටත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බලන ජනතාවටත් කවදා හෝ ජයගනී කියන බලාපොරොත්තුවක් තිබුණා. අපි ඔවුන්ට සාධාරණයක් ඉටුකරල ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරල දෙයි කියලා. අපි කවුරු මොනව කිව්වත් එක එක මාධ්‍යවල ඇවිල්ල මොනව කිව්වත්, ක්‍රිකට් බලන බුද්ධිමත් මිනිස්සු දැනගෙන හිටිය අපි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ. ක්‍රිකට් බලන ජනතාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නෙ ඒ ආසාව ඒ කැපවීම ඒ ආශීර්වාදය අවුරුදු ගණනාවක් තිස්සේ එක දිගට පවත්වාගෙන ආව නිසා ඔවුන්ට දරාගන්න බැරි සතුටක් වෙලා තිබුණා මේ ජයග්‍රහණය.
ඉතින් සෙනඟගෙන් ලැබුණු ඒ පිළිගැනීම, ප්‍රීති ඝෝෂාව අපිට වුණත් දරාගන්න බැරි වුණා. මිනිස්සු ක්‍රිකට්වලට මේ තරම් කැමැති ඇයි කියලා. මගේ ජීවිතයේ ලබපු පළමුවැනි අත්දැකීම ඉතින් මමත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයිනුත් ළාබාල ක්‍රීඩකයිනුත් ගොඩක් සතුටු වුණා ශ්‍රී ලංකාවේ ජනතාව ගැන මොකද ඔවුන් අපි කෙරෙහි කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටිය ද අපි කොච්චර සාධාරණයක් ඔවුන්ට ඉටු කළා ද කියලා.
මම හිතන්නෙ අපි ඔවුන්ට ගොඩක් ස්තූතියි කියනවා. මින් ඉදිරියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ටත් ඔවුන්ගේ සහයෝගය ඒ විදිහටම ලබා දෙන්න කියල ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි මේ ජනතාවට ණයගැතියි ඔවුන් වසර ගණනාවක් තිස්සේ කේන්ති ගන්නේ නැතුව අපට ආශිර්වාද කර කර ඉවසීමෙන් සිටීම ගැන.
ගෝලෆේස් පිටියේදී රැස්ව සිටි පිරිසේ ප්‍රතිචාර.
මගේ ජීවිතයේ මම දැකල නෑ ඒ වගේ සෙනඟ එක තැනක ඉන්නවා. මම හිතන්නේ ගෝල්ෆේස් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් පිරිලා පාරවල් හැමදේම පිරී ඉතිරිලා ගිහින් තිබුණා. මිනිස්සුන්ට ඇවිදින්න බැරි ගාණට සෙනඟ හිටියා මම නැවතත් ස්තූතිවන්ත වෙනවා ඔවුන්ට.

ජනපති තුමාගේ සුබ පැතුම උණුසුම් පිළිගැනීම ගැනත් කතා කරමු.
මම ආපු කාලේ සර් මාව ක්‍රීඩා කරල දැකල තිබුණා. එයාට ගොඩක් සතුටුයි කියලා තිබුණා මම ක්‍රීඩා කරන විදිහට.
එදා අපි ජයග්‍රහණය ලබපු වෙලාවෙ එතුමා මැච් එක බලල තිබුණා. ඒ වෙලාවෙම ග්‍රවුන්ඩ් එකේදීම සනත් අයියට කතා කරල තිබුණා. සනත් අයියා මට ෆෝන් එක දුන්නාම එතුමා මට සුබ පැතුවා. ගොඩක් සතුටුයි කිව්වා. සතුට වැඩිකමට එතුමාට කතා කර ගන්නත් බෑ. පස්සෙ සනත් අයිය මාත් එක්ක කිව්වා ජනාධිපතිතුමා එයාට කිව්වලු ගමේ කොල්ලා නියමයි කියලා. ඇත්තටම සර් එදා මගේ නායකත්වයේ දක්ෂකමත් දකින්න ඇති. ගොඩක් සතුටුයි ඒ ගැන.
ජනාධිපතිතුමා නැතිනම් අද ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ නෑ. ඒ අතිතය යළි සිහිපත් කරමු.
ඔව්, ඒක මතක් කරන එක මගේ යුතුකමක්. මගේ කකුලේ ආබාධයක් ආවා 2008 දී. මට ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වුණා. ආයෙත් ජීවිතේට ක්‍රිකට් ගහන්න බැරිවෙලා තිබුණේ. එතකොට මාව කවුරුත් ගණන් ගත්තේ නෑ. මම ඉන්නවා ද කියලවත් කවුරුත් බැලුවෙ නෑ. ඒත් එතුමා ක්‍රිකට් ක්‍රීඩාවට කොයි තරම් ආදරෙයි ද කියල ගමේ මිනිස්සුන්ට කොයිතරම් ආදරෙයි ද කියලා එදා තමයි මම දැනගත්තෙ.
එතුමා මට කතා කරල ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මහත්මා මට හඳුන්වා දීල මගේ කකුල සුව කරල දුන් නිසා තමයි මම යළිත් ක්‍රිකට් ක්‍රීඩාවට ආවෙ. කණ්ඩායමට යළිත් ඇවිත් තාමත් ක්‍රීඩා කරන්නෙ. ඉතින් එතුමාට මටත් වඩා සතුටු ඇති එදා මම කළ දේ නිසා තමයි මේ වගේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමේ ඉන්නෙ කියලා.
ඒ වගේම එතුමා මටත් වඩා නිහතමානී සතුටක් ලබනවා ඇති ගමෙන් ඇවිත් කණ්ඩායමට නායකත්වය දීලා රටට ලෝක කුසලානයක් යළිත් හිමිකර දීම ගැන. ඒ වගේම මමත් ගොඩක් සතුටු වනවා ඒ වගේ නායකයෙක් අපට ඉන්න එක ගැන.
ලෝකයේ බොහෝ රටවල්වල ක්‍රීඩකයින්ට තරග පාවාදීම් ගැන විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබ ඒ ගැන දරන අදහස.
අපි ක්‍රීඩා කරන්නෙ මුදලට වඩා අපේ රට වෙනුවෙනුත් ක්‍රිකට්වලට සාධාරණයක් ඉෂ්ට කරන්නත් කියන දෙයට. සමහර අවස්ථාවලදී පැරදුණාම කියනවා අපි සල්ලිවලට ක්‍රීඩා කරන්නෙ කියලා. නමුත් අපි දන්නවා අපේ රටේ සෑම ක්‍රීඩකයෙක්ම ක්‍රීඩා කරන්නෙ රට ජයග්‍රහණය කරවන්න. සෑම ක්‍රීඩකයෙක්ම තමන්ගේ දක්ෂතා අතරට එනවානම් ඒක ජයග්‍රහණවලට වටිනවා. නමුත් සමහර ක්‍රීඩකයින් ඉන්නවා දිගු කාලයක් ඔවුන්ට සාර්ථකත්වයට එන්න බැරිවෙලා ඊට පස්සෙ යළිත් හොඳින් ක්‍රීඩා කරනවා.
සෑම ක්‍රීඩකයෙක්ම රට වෙනුවෙන් පිටියට යන්නෙ පිතිකරුවෙක් නම් ලකුණු ලබාගන්න. පන්දු යවන්නෙක් නම් කඩුලු ලබා ගන්න. නමුත් ඒ අවස්ථාවල ගන්න තීරණ ඒ අවස්ථාවල පවතින තත්ත්ව අනුව ඒ දේවල් වෙනස් වෙන්නත් පුළුවන්.
ඒත් කවුරු මොනවා කිව්වත් අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නෙ රට වෙනුවෙන් පමණයි කියන දේ කියන්න ඕන.
අපි ක්‍රීඩා කරද්දී මුදල අපේ පසුපස එනව තමයි. නමුත් අපේ ක්‍රීඩකයින් කවදාවත් මුදල් පසුපස ගිහින් රට පාවාදීල නෑ කියන දේ කියන්න ඕන.
2015 එළඹෙන ලෝක කුසලානයේ බලාපොරොත්තුව ගැනත් කතා කරමු.
ඇන්ජලෝ මැතිව්ස් මේ සඳහා නායකත්වය දරාවි. ඔහු හොඳ ක්‍රීඩකයෙක්. හොඳ තරුණ නායකයෙක්. ඉතින් මම හිතනවා ඔහුගේ වෙනම සැලැස්මක් ඇති. එය ජයගන්නේ කොහොම ද කියලා. තාම කාලය තියෙනවා හොඳට සැලසුම් කරන්න.
මගේ T20 ලබාගත් අත්දැකීම් තියෙනවා. ඇන්ජලෝයි මමයි හොඳින් කතාබහ කරනවා. මම දන්න දේ මම ඇන්ජලෝට කියනවා. ඉතින් මම ඇන්ජලෝගේ නායකත්වයෙන් ඔහු බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද මට පුළුවන් උපරීමයෙන් ඒ කියන්නෙ සියයට සියයක් ඔහුට සහයෝගය දෙනවා. තරග ජයග්‍රහණය කරන්න.
කවුරු නායකයා වුණත් මම මගේ උපරීමය කරන්න බලාරොත්තු වෙනවා තරග ජයග්‍රහණය කරන්න මට මෙම තරගාවලියට සහභාගි වෙන්න ලැබුණොත්.
හැමෝම මේ දිනවල ඒ සඳහා පෙර පුහුණුවීම් කරනවා. ඊට පෙර අපිට එංගලන්ත සංචාරයක් තිබෙනවා. බවුන්ස් විකට්වල පන්දු යවල පුහුණු වෙන්න. මම හිතනවා ඒ තරගාවලිය උදව් වෙයි කියලා 2015 ලෝක කුසලානයට යනකොට.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK