WATCH Live CRICKET Select A Channel

23 April 2014

බොදු බල සේනාවට නොර්වේ සල්ලි එන්නේ නැද්ද?

- බොදු බල සේනා සංවිධානයේ මහ ‍ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි -
බොදු බල සේනා සංවිධානය අන්‍ය ආගමිකයන් සමග ගැටුම් ඇතිකර ගනිමින් සිටින බවට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. එහි අවසන් සිදුවීම වාර්තා වන්නේ විල්පත්තුවේ අනවසර පදිංචිකරුවන් පිරිසක් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නයක් සමගිනුයි. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ නමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ගෑවී තිබෙනවා. ඇමතිවරයාසම්බන්ධයෙන් කළ ප්‍රකාශයට සමාව නොගන්නේ නම් නීතිමය පියවර ගන්නා බව පවසා තිබෙනවා. ඔබවහන්සේ ඔවුන්ගෙන් සමාව ගන්නවාද?
නැහැ. අපි මේ සම්බන්ධයෙන් සමාව ගන්නේ නැහැ. රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා නීති විරෝධී ආකාරයට විල්පත්තු වනෝද්‍යානය තුළ අනවසර ඉදිකිරීම් කරන බව අපි ඔප්පු කළා. දැන් මේ අය අපිට කියන්නේ පත්තරවල ගිය කරුණු අනුව සමාව ගන්න කියලානේ. එහෙම නැතිනම් නඩු දානවා කියලා කියනවානේ. පත්තරවල ගිය දේවල්වලට නඩු දානවා නම් නඩු දාන්න කියන්න. එහෙම නඩු දැම්මට අපිට කරන්න දෙයක් නැහැ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ඇතු‍ලේ අනවසර ඉදිකිරීම් කරනවා. මේ ඉදිකිරීම් කරන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයා විසින්. අපි ඒක බය නැතිව කියනවා. අපි ඒ බව අනාවරණය කළ විට එය එසේ නොවේ යැයි අපි ආයිමත් කියන්න අවශ්‍ය නැහැ. අපිට විරුද්ධව නඩු දැම්මොත් අපි බය නැතිව උසාවියට යනවා. එහෙම වුණොත් උසාවියේදී තවත් කරුණු හෙළි වේවි. කොහොමත් අපි මේ වැඩ කටයුතු පටන් ගත්තේ අධිකරණයට යෑමේ සූදානම ඇතිවයි. අප හැමවිටම හරි දේ කරනවා. හරි දේ කරලා අධිකරණයට යන්න අපි කොයි වෙලාවකවත් බය වෙන්නේ නැහැ. 
බොදු බල සේනාව මෙසේ කටයුතු කරන්නේ ජාතිවාදය වැපිරීමට බවට චෝදනා එල්ල වෙනවා නේද?
ජාතිවාදයක් අපි ළඟ නැහැ. අපි හැමවිටම හොරකමට, බොරුවට විරුද්ධව කටයුතු කරනවා. ලංකාවේ සිදුවන වංචා දූෂණ ගැන කතා කරන සංවිධාන මහ ජාතියට අයත් ඇමැතිවරුන් කරන හොර මැරකම් ගැන කතා කරනවා. ඒ වගේම අපිත් සිංහල බෞද්ධ ඇමැතිවරුන් කරන හොරකම් මැරකම් පිළිබඳවත් හෙළිකිරීම් කරනවා. අනෙක් සංවිධාන සිංහල බෞද්ධ මැති ඇමැතිවරුන් කරන වැරදි විතරක් හෙළි කරන විට අපි සුළු ජාතීන්ට අයත් මැති ඇමැතිවරුන් කරන වැරදිත් හෙළිදරව් කරනවා. දැන් අනෙක් සංවිධාන කවුරුන් හෝ දෙමළ, මුස්ලිම් දේශපාලනඥයකු වරදක් කළ විට ඒ දෙස බලන්නේ අනුකම්පාවෙන්. නමුත් අපි එහෙම නැහැ. අපි ඒ අය කරන වැරදි ගැනත් කතා කරනවා. එවිට අපිට ජාතිවාදී ‍ලේබල් අලවනවා. 
ඒත් බොදු බල සේනාව කටයුතු කරන ආකාරයෙන් මේ ජාතිවාදී ස්වරූපය පැහැදිලි වෙන බවයි ඔබවහන්සේලාගේ විවේචකයන් පෙන්වා දෙන්නේ. මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමික කටයුතුවලට විරුද්ධව ඔබවහන්සේලාගේ සංවිධානය කටයුතු කරන ආකාරය වඩාත් කැපී පෙනෙන නිසා එහෙම චෝදනා එල්ල වෙනවා?
අපි ජාතිවාදී අයුරින් කටයුතු කරනවා කියන චෝදනාව ගේන්නේ මුස්ලිම් ඇමැතිවරුන්නේ. ඒ අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න මේ වගේ චෝදනා කරනවා. මේ අය අපි මුස්ලිම් ජනතාවට විරුද්ධව කටයුතු කරනවා කියලා ලෝකයට පෙන්නලා එයින් වාසි ගන්න හදනවා. තානාපති කාර්යාලවලට ගිහින් ආධාර ගන්නවා. පිටරට මුස්ලිම් සංවිධානවලින් ආධාර ගන්නවා. මේ අය කටයුතු කරන්නේ මුස්ලිම් ජනතාවගේ සුබසාධනය බලාගෙන නොවෙයි. මේ අයගේ සුබසාධනය ඇතිකරගන්න තමයි මොවුන් කටයුතු කරන්නේ. අපි කවදාවත් මුස්ලිම් පල්ලියක ආගම කියන වෙලාවේ ගිහිල්ලා ගහලා තිබෙනවාද? නැහැනේ.
ඒත් බොදු බල සේනාව කටයුතු කරන ආකාරය නිසා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට එල්ලවන අපකීර්තිය ගැන ඇතැමුන් පෙන්වා දෙනවා. ලංකාවේ ආගමික නිදහස නොමැති බවට ජාත්‍යන්තරය චෝදනා කරන්නේත් බොදු බල සේනා වැනි සංවිධානවල  කටයුතු නිසා බවට චෝදනා එල්ලවෙනවා. බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් හැටියටත් ‘ට්‍රැක්’ නමැති ආයතනයක් විසින් හඳුන්වා දී තිබුණා. මේ පිළිබඳව අවධානයක් යොමු කර නැද්ද?
ජාත්‍යන්තර සංවිධාන ක්‍රියාත්මක වන්නේ මුදල් එක්කයි. ජාත්‍යන්තර සංවිධානවලට මුදල් ලබාදෙන අය එම සංවිධාන තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවනවා. සිංහල බෞද්ධ ජනගහනය මිලියන 13-15ත් අතර ප්‍රමාණයක් පමණයි. ඒත් ලෝකයේ මුස්ලිම් ජනතාව මිලියන 1,500ක් වෙනවා. අපේ මිලියන 15ට එළියේ මිලියන 1500ක් ඉන්නවා. අපේ මිලියන 15නුත් භාගයක්ම සර්ව ආගමික අය. ඒ අයට ආගමට ජාතියට කුමක් වුවත් කමක් නැහැ. ඒත් මුස්ලිම් ප්‍රජාවට මුදල් බලය තිබෙනවා. මාධ්‍ය බලය තිබෙනවා. ඒ නිසා ඔවුන් ජාත්‍යන්තර මතය අපිට විරුද්ධව හසුරවනවා.
බොදු බල සේනාව ත්‍රස්තවාදී සංවිධානයක් කියලා මුලින්ම පුවතක් පළ වුනේ ‘ගල්ෆ් නිව්ස්’ එකේයි. මේ ආකාරයට ඔවුන් තමන්ගේ මාධ්‍ය ආයතන හරහා බොදු බල සේනාවට විරුද්ධව වාර්තා පළ කරනවා. මේ වාර්තා එක් කරලා අපිට විරුද්ධව කටයුතු කරන්න තමයි මොවුන් උත්සාහ ගන්නේ. අපි ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස මේ අය නම් කරලා තිබුණාට අපි කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සහභාගි වෙලා නැහැ. අපි ආයුධ අරගෙන සටන් කරන සංවිධානයක් නොවෙයි. සැඟවිලා සටන් කරන ගරිල්ලා සංවිධානයක්ද නොවෙයි. අපි කටයුතු කරන්නේ ප්‍රසිද්ධියේ. අපි ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට එනවා. මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. ඒත් මේ අය අපිට නොයෙක් ආකාරයේ පදනම් විරහිත චෝදනා නගමින් තමයි ත්‍රස්ත ‍ලේබලයක් අලවන්නේ. කෙසේ වෙතත් කෙටි කාලයකින් ඇත්ත මොකක්ද කියන එක හෙළිවේවි. 
බොදු බල සේනාව පසුගිය කාලයේදී පැවැත්වූ විරෝධතාවන් ප්‍රචණ්ඩ ආකාරයක් ගෙන තිබුණා. මේ විරෝධතාවන් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නේ ඇයි?
අපි පල්ලියකට පහරදීලා, පල්ලි කඩලා තියෙනවාද? ආගම කියන වෙලාවක ගිහිල්ලා පල්ලි කඩලා තියෙනවාද? පල්ලි කැඩුවා, අතනට ගැහුවා, මෙතැනට ගැහුවා කියලා කියනවා. ඒත් අපි ඒවාට කිසිදු සම්බන්ධයක් නැහැ. අන්‍යආගමික ස්ථානයකට පහරදුන්නා කියන චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි කිසිදු අවස්ථාවක වෙනත් ආගමික ස්ථානයකට පහරදීලා නැහැ. 
පසුගිය කාලයේදී ඔබ වහන්සේ හැසිරුණ ආකාරය ගැන ඇතැම් පුද්ගලයින් විවේචනයන් එල්ල කරනවා. ඔබවහන්සේගේ හැසිරීම භික්ෂුවකට ඔබින්නේ නැහැ කියන චෝදනාව එල්ල වෙනවා?
භික්ෂුන් වහන්සේ නමක් විදියට මගේ හැසිරීමේ වරදක් නැහැ. දැන් මේ අය කතා කරන්නේ පසුගිය දවසක වාර්තා වූ සිදුවීම පමණයිනේ. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන අවස්ථාවකට අපි කඩා වැදුනා කියන චෝදනාවනේ කරන්නේ. අපි එදා ගියේ බුද්ධාගමට හානි වන ආකාරයේ ප්‍රකාශ කරන භික්ෂුවක් සම්බන්ධයෙන් කටයුතු කිරීමටයි. එම භික්ෂුව බුද්ධාගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයන් කර තිබුණා. බුදුහාමුදුරුවන්ට, ත්‍රිවිධ රත්නයට නිගාවන ආකාරයේ ප්‍රකාශ පල්ලි ගානේ ගොස් කියා තිබුණා. සීඩී ගහලා රට පුරා බෙදාහැරියා. ඒ භික්ෂුවගේ ක්‍රියාකලාපය ගැන අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලාගෙන හිටියා. ලොකු කාලයක් බලාගෙන ඉඳලා තමයි අපි එතැනට ගියේ.
අපි ආවේගශීලී ආකාරයෙන් කටයුතු කරන ආකාරයේ ඡායාරූප පුවත්පත්වල පළවුණාට එතැනදී කටයුතු කළේ ඊට වඩා වෙනස් ආකාරයටයි. බුදුහාමුදුරුවන්ට නිගා වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඒ භික්ෂුව සමාව ගත් විට අපේ තරුණ භික්ෂූන් වහන්සේලා හාමුදුරුවන්ට වැන්දා. ඒත් ඒ පින්තූර පත්තරවල ගියේ නැහැ. ඒ වෙලාවේදී සමාව ගත්ත හාමුදුරුවෝ අපිට විරුද්ධව කටයුතු කළේ එක්තරා ඇමැතිවරයෙකුගේ වුවමනාව මතයි. ඒ ඇමැතිවරයා දුරකථන ඇමතුමක් දීලා කීව නිසා තමයි ‍පොලීසියට ගිහින් පැමිණිලි කරලා තිබුණේ.
බොදු බල සේනාව මේ වන විට ක්‍රියාත්මක කරමින් ඉන්නේ බුද්ධාගම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්  බව ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු වන සී.ඒ. චන්ද්‍රප්‍රේම ප්‍රකාශ කරනවා. මේ විවේචනය ගැන මොකක්ද ඔබ වහන්සේගේ අදහස?
ඔය චන්ද්‍රප්‍රේම මුලින්ම ‘කොළපාට සමාජය’ කියලා ‍පොතක් ලිව්වා. ඊට පස්සේ ඩී.බි. විජේතුංග ජනාධිපතිවරයා සමග කටයුතු කළා. රනිල් වික්‍රමසිංහ සමගත්, බලය තිබුණ කාලයේදී කටයුතු කළා. දැන් ආණ්ඩුව එක්ක වැඩ කරනවා. ඔහු බලයේ සිටින දේශපාලන පක්ෂය සමග සෑම විටම කටයුතු කරන අයෙක්. ප්‍රේමචන්ද්‍ර වගේ අය වැරදි ආකල්ප සමාජයට ගෙන යන අය. ඔවුන් මාධ්‍ය වෙත පැමිණ තමන්ගේ න්‍යායපත්‍රය එළියට දමනවා.
බොදු බල සේනාව කටයුතු කරන්නේ විදේශ ආධාර මත බවටත් චෝදනාවක් තිබෙනවා?
ඔය කතාත් කියන්නේ චන්ද්‍රප්‍රේමලානේ. ඔවුන් තමයි විදේශ ආධාර මත වැඩ කරන්නේ. විදේශ ආධාර මත වැඩ කරන අය අනික් අයත් එහෙම වැඩ කරනවා කියලා තමයි නිතරම හිතන්නේ. ඒ නිසා තමයි ඔය විදේශ ආධාර කතාවක් අපේ ඇඟේ ගාන්න හදන්නේ. බොදු බල සේනාව කිසිම අවස්ථාවක විදේශ ආධාර ගන්නේ නැහැ. අපිට විදේශ රටවල සිටින සිංහල බෞද්ධ අය උදව් කරනවා. එසේ නැතිව ව්‍යාපෘති ලියලා සල්ලි එකතු කරන්න අපි කටයුතු කරන්නේ නැහැ.
බොදු බල සේනාව විරෝධතා, රැස්වීම් පවත්වන විට එක්වරම විශාල පිරිසක් ගෙන එනවා. මේවා කරන්න සල්ලි කොහෙන්ද කියලත් ඔය අය අහනවා. අපි මිනිස්සු අදින්නේ නැහැ. මිනිස්සු එනවා. චන්ද්‍රප්‍රේමලා ආණ්ඩු බලය ඇති දේශපාලනඥයන් සමග කටයුතු කළා. කිසියම් රැස්වීමකට, ව්‍යාපෘතියකට ජනතාව එක් රැස් කරන්න නම් ඒ සඳහා මුදල් අවශ්‍ය බව ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිවල සඳහන් කරනවා. එක්තරා ජනාධිපතිවරයකු බලයේ සිටින කාලයේදී ඔහුගේ රැස්වීම්වලට සෙනග ගේන්න සල්ලි හොයන්න ව්‍යාපෘති වාර්තා ලිව්වේ අප සමග කටයුතු කරන මහත්මයෙකුගේ කාර්යාලයේ සිටයි. ඒ අය වැඩ කරන විදියට අපිත් වැඩ කරනවා කියලා තමයි මොවුන් නිතරම හිතන්නේ.
මේ අය තේරුම් නොගත් බලවේගයක් පන්සල්වල තිබෙනවා. මේ බලවේගය තමයි සමාජ බලවේගය. පන්සලට තිබෙන සමාජ බලවේගය අනුව තමයි අපි කටයුතු කරන්නේ. මේ සමාජ බලවේගය නිසා තමයි ජනතාව අපි කරන විරෝධතාවලට එක් වෙන්නේ.
එතකොට බොදු බල සේනාවට නෝර්වේ ආධාර ලැබෙන්නේ නැද්ද?
ඒ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. කවදාවත් අපිට නෝර්වේ ආධාර දීලා නැහැ. ඒ චෝදනාව තාර්කික නැහැ. අපිට ලැබෙන්නේ නැති දෙයක් ලැබෙනවා කියලා කියන්නේ කොහොමද. අපි නෝර්වේ ගිහින් තිබෙනවා. හැබැයි ඒ බොදු බල සේනාව පිහිටුවීමට පෙරයි.
දැන් බොදු බල සේනාව හදිසියේ මතු වුවත් යුද්ධය පැවැති කාලයේදී මේ දේශප්‍රේමය තිබුණේ කොහිදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා?
බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය ඇතිවන්නේ යුද්ධයෙන් පසුවනේ. මම බොදු බල සේනාව කලින් හැදුවා. ඒත් එය ඉදිරියට ගියේ නැහැ. අපි මීට පෙරත් වැරදිකරුවන්ට විරුද්ධව විරෝධතා පැවැත්වුවා. අපි බොදු බල සේනාව විදියට නොවුණත් යුද්ධය පැවැති කාලයේදීත් මේවාට විරුද්ධව කටයුතු කළා. කුමාර් රූපසිංහලා, ඩිලාන් පෙරේරලා, වාසුදේව නානායක්කාරලා එදා යුද විරෝධී පෙළපාළි යන විට අපි එයට විරෝධය දැක්වූවා. මොවුන්ගේ
පළමු රැස්වීම විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වෙන විට එයට විරෝධය දැක්වීමට මම භික්ෂූන් වහන්සේලා සමග ගියා. 
ඔබවහන්සේලා ඉදිරිපත් කරන කරුණු ගිහියන් හරහා ඉදිරිපත් කළ හැකියි. ගිහියන් ලවා මේ කරුණු ඉදිරිපත් නොකරන්නේ ඇයිද කියාත් ප්‍රශ්න කරනවා?
අප සමග ගිහියන් වැඩ කරනවා. ඒත් ඔවුන් කියන දේට වඩා අපි කියන දේටයි මාධ්‍යයෙන් ඉඩක් ලැබෙන්නේ. මේ නිසා තමයි භික්ෂූන් වහන්සේලා විතරක් කටයුතු කරනවා කියලා පේන්නේ.
සාකච්ඡා කළේ සංජය නල්ලපෙරුම

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK