WATCH Live CRICKET Select A Channel

08 May 2014

08-05-2014 |මිල්ලනියේ ‘මිනීවළ’ ගැන ආන්දෝලනය

“27 රෑ දොළහට තමයි මිනීවළ කපන්න පටන් ගත්තේ”

පසුගිය 28 වැනිදා දහවල් දොළහ පසු වී තිබිණි. වේගයෙන් පැමිණි ත්‍රීරෝද රියක් මිල්ලනිය පොලිස් ස්ථානය ඉදිරිපිට නතර විය. එයින් බැස ගත්තේ රතු පැහැති ඇඳුමක් ඇඟලාගත් මැදිවියේ කාන්තාවකි. හනික පොලිස් ස්ථානය වෙත ඇය දිව එන අයුරු ජනෙල් කවුළු අතරින් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයසිරි කරුණාරත්න මහතාගේ ඇස ගැටිණි. මේ කාන්තාව කිසියම් කරදරයකට මුහුණ පා ඇති බව ඇය දුටු සැණින් ස්ථානාධිපතිවරයාට අවබෝධ විය. එනිසා ම ඇයව ඉක්මනින් නිල කාමරයට ‍කැඳවා කරුණු විමසන්නට ඔහු මොහොතක් හෝ පමා නොවීය.

“අනේ බුදු සර් මාත් මගේ දරුවාත් බේරාගන්න යැයි කියමින් ඇය ස්ථානාධිපතිවරයා ඉදිරියේ හඬන්නට වූවා ය.
“මගේ මනුස්සයා මාත් මගේ දරුවත් මරා වළ දමන්නට ගේ මැද සාලෙ වළක් හාරනවා “තෝයි දරුවයි මරලා මාත් මැරෙනවා” කිය කියා මට ගහනවා. ඒ අතර වළ කපනවා. මම හොරෙන් පැනලා මේ ගැන කියන්නයි පොලිසියට ආවේ” ඇය විලාප තබමින් කීවාය.
සියල්ල සාවධානව අසා සිටි පොලිස් පරීක්ෂක උදයසිරි මහතා වහා ක්‍රියාත්මක විය. තවත් පොලිස් කණ්ඩායමක් සමඟ අදාළ ස්ථානයට ගිය උදයසිරි මහතා ඇතුළු පිරිසට දැකගන්නට ලැබුණේ මින් පෙර කිසිදාක නිවෙසක් තුළ නොදුටු අන්දමේ බියකරු දසුනකි.
නිවසේ සාලයේ හරි මැද දිගින් අඩි පහමාරකුත්, පළලින් අඩි තුනකිනුත් ගැඹුරින් අඩි දෙකක් පමණ වන මිනී වළක් හාරා තිබුණි. නිවෙසේ වහලයේ මුදුන් ලීයේ කබයක් ගැට ගසා ගෙළවැල ලා ගැනීමට තොණ්ඩුවක් ද සකස් කර තිබිණි. එතැනට ම හේත්තු කරන ලද හිණිමඟක් ද වළ කැපීමට භාවිතා කරන ලද උදැල්ලක්, අලවංගුවක්, යකඩ ඉන්නක් ඇතුළු ආයුධ කීපයක් ද ඔවුන්ට දැකගත හැකි විය.
පොලිසිය නිවෙසට යන විට කුඩා බිලිඳිය කොට්ටවලින් වටකර කාමරයක ඇඳක් මත මහ හඬින් හඬමින් සිටියා ය. බිලිඳිය සිටි ඇඳ පරීක්ෂා කිරීමේදී එහි යට තිබූ කඩුවක් ද පොලිසියට හමු විය. සිද්ධිය සොයා බැලීමට ගිය අවස්ථාවේදීම සැකකාර ‍පුද්ගලයා වන කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගැනීමටත් සති පහක් වයසැති බිලිඳිය පොලිස් භාරයට ගැනීමටත් කටයුතු කළ පොලිසිය ‍ෙම් ගැන අඹු සැමි යුවළ ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේ ය.
මෙම සිදුවීමට මුහුණ පෑවේ ජනිතා මල්කාන්ති නම් හතළිස් දෙහැවිරිදි විවාහක කාන්තාවක සහ ඇගේ සති පහක් වයසැති බිලිඳියයි. සැකකරු එම කාන්තාවගේ දෙවන විවාහයේ සැමියා වන රවීන්ද්‍ර කුමාර යි.
පොලිසිය පවසන අන්දමට මෙම සිදුවීමට මුහුණ පෑ ජනිතා කළුතර උතුරු ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි. අඩු වයස් සීමාවක දී විවාහ ජීවිතයට ඇතුළු වී ඇති ඇයට පළමු විවාහයෙන් අවුරුදු 22 ක පිරිමි දරුවෙක් ද අවුරුදු 17 ක ගැහැණු දරුවෙක් ද සිටියි.
පළමු විවාහයේ සැමියාගෙන් වෙන්වී වෙනත් ඇසුරකට ඇය යොමු වි ඇත්තේ මීට වසර තුනකට පමණ පෙර ය. ඒ රවීන්ද්‍ර කුමාර සමඟ ය. ඔහු මෙම සිද්ධියේ සැකකරු ය. රවීන්ද්‍ර ද විවාහකයෙකි. මේ දෙදෙනා දැන හඳුනාගෙන ඇත්තේ ලංකාවේදීත් අරාබි රටකත් එකට රැකියාව කරමින් සිටියදී ය.
රවීන්ද්‍ර නැමැත්තාගේ පළමු විවාහයේ බිරිය ඔහු අතහැර විදේශගතව සිටි නිසා ඔහු මිල්ලනිය ප්‍රදේශයේ බැල්ලන්තුඩාව ගැමුණු මාවතේ තම නිවෙසේ තනිවම ජීවත් වී ඇත. විවාහ ජීවිත දෙකඩ කරගත් රවීන්ද්‍රත් ජනිතාත් ඔවුන්ගේ දැන හඳුනා ගැනීමෙන් පසුව එකට ජීවත්වීමට තීරණය කර ඇත.
ඒ රවීන්ද්‍රගේ නිවෙසේ ය. එම කාල සීමාවේදීම ජනිතාගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනා ද ඔවුන් සමඟ මෙම නිවෙසේ ජීවත් වීමට පැමිණ වසර දෙකකට ආසන්න කාලයක් එම නිවෙසේ සිට ඇත. ඔවුන් දෙදෙනා ද රැකියාවක් කරමින් තම මවටත් බාප්පාටත් උදව් උපකාර කරමින් දිවි ගෙවා ඇත.
තවත් දරුවෙකු බලාපොරොත්තු නොවූ ජනිතාත් රවීන්ද්‍රත් ප්‍රේමයෙන්, විනෝදෙන් කාලය ගත කරන අතර තුර තම පවුලට තුන්දෙනෙක් එකතු වන ලකුණු පහළ වෙමින් ඇති බව ඔවුන්ට දැනිණි. ජනිතාගේ දරු ගැබ මෝරා දරුවා ලැබෙන්නට ආසන්න වෙද්දී දෙදෙනාගේ ම කැමැත්ත මත පසුගිය ජනවාරි මස ඔවුන් විවාහ වී ඇත.
කුඩා බිලිඳු දරුවෙකුගේ පියෙකු වීමට සිටින නිසා දෝ රවීන්ද්‍ර ජනිතාටත් ඇගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාටත් නුරුස්නා ගතියක් පෙන්වා ඇත. ඒ නිසා ම ‍ඔවුන් අතර නිතර අඬ දඹර ද ඇති වී ඇත. ප්‍රදේශවාසීන් පවසන අන්දමට ජනිතා තම දරුවන්ට දක්වන සෙනෙහසට රවීන්ද්‍ර කැමැති නැත.
එනිසා ම මීට මාසයකට පමණ ඉහත දී රවීන්ද්‍ර තම දෙවන බිරිය ගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාට පහර දී ඔවුන් දෙදෙනා නිවෙසින් එළවා දමා ඇත. මේ හේතුවෙන් ජනිතාත් රවීන්ද්‍රත් අතර නිතර නිතර අඩ දඹර ආරවුල් ඇති වී ඇත. උදේ සිට රැය පහන්වන තුරු හැමදාමත් සිදුවන මේ දෙදෙනාගේ අඩදඹර අසල්වැසියන්ට පසුව සාමාන්‍ය දෙයක් වී ඇත.
පොලිසිය පවසන අන්දමට රවීන්ද්‍ර කුමාර තරමක අමුතු පුද්ගලයෙකි‍. ඔහු මත්පැන් පානය නොකළ ද සිගරට් පානය සඳහා තදින් ඇබ්බැහි වී සිටී. ඔහු සමාජ ඇසුරෙන් ද ඈත් වී සිටි අයෙකි.
වඩු වැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්‍රික් වැඩ පිළිබඳ හොඳ දැනුමක් රවීන්ද්‍රට තිබුණ ද එම දැනුමෙන් ඔහු ප්‍රයෝජනයක් ගෙන නැත. රැකියාවකට නොගොස් අවට නිවෙස්වල කුලී වැඩක් කර කීයක් හෝ සොයා ගන්නා රවීන්ද්‍ර නිවෙසේ ම කල්ගත කරන නිසා නිවෙසේ අඩුපාඩු පිරිමසා ගැනීමට තම සොයුරාට අයත් වෙළෙඳ සලකට ගොස් දිනපතා රුපියල් පන්සියක පඩියකට වැඩ පළ කරමින් තමන්ට අවශ්‍ය දේවල් පිරිමසා ගත් බව ජනතාගේ පැමිණිල්ලේ සඳහන් විය‍.
“රවීන්ද්‍ර වෙනදා වගේ පසුගිය 27 වැනිදාත් මාත් එක්ක බහින් බස් වී මට පහර දුන්නා. 27 වැනිදා රෑ දොළහට විතර මම දරුවත් එක්ක කාමරේ හිටියේ. රවීන්ද්‍ර මට මහ හයියෙන් බැණ වදින්න පටන් ගත්තා. සැරින් සැරේ ඇවිත් මගේ හිසකෙස් වලින් අදිමින් දෑතින් මට හිසට පහර දුන්නා.
එක සැරයක් දරුවාගේ කකුල් දෙක දෑතින් ඇදලා ගත්තා. මම බොහොම අමාරුවෙන් දරුවා බේරා ගත්තා. හරියට ම රෑ 12.00 ට විතර තමයි සාලෙ මැද්දෙ වළ කපන්න පටන් ගත්තේ. මේ වෙලාවට තමයි මහසෝන් අවතාරත් එන්නේ. මගේ වැඩේ දැන් පටන් ගන්නවා. මට තෝත් එපා තොගේ දරුවත් එපා කියලා සිමෙන්ති දමා තිබූ පොළොව හාරන්න පටන් ගත්තා.
මම කීප සැරයක් ම කිව්වා ඕක වහලා දාන්න කියලා. මට එළියට පහළියටවත් යන්න නොදී මාව ගෙදර හිර කරලා බය කරලා ගේ ඇතුළට ම කර තිබ්බා. ඒත් මම හැමදේම ඉවසගෙන හිටියා. 28 වැනිදාට එළි‍වුණා. පොලිසියට එන්න හිතාගෙන හිටියේ නැහැ. මේ මනුස්සයා නවත්වන්නෙම නැතුව වළ කැපුවා. ඒ මදිවට බාල්කේ කබයකුත් ගෙනැත් එල්ලුවා.
මට හිතාගන්න බැරිව ගියා මොනවායින් මොනවා වෙන්න යනවද කියලා බැරිම තැන මම කිව්වා දරුවාගේ කිළිටි රෙදි හෝදගන්න ඕන එළියට යන්න දෙන්න කියලා. දරුවට මම හොඳට කිරි පොවලා නිදි කරලා තිබුණේ. දරුවාගේ රෙදි අරගෙන එළියට ඇවිත් ටැප් එක ළඟට වෙලා රවීන්ද්‍ර දිහා බැලුවා. මම බලන කොට රවීන්ද්‍ර ඉණිමගට නැගලා කබය හදනවා දැක්කා.
මම ටැප් එක ඇරලා තියලා පාරට දුවලා පාරේ යන ත්‍රීවීල් එකක් නතර කරවාගෙන පොලිසියට ආවා. මට හිතාගන්න බැහැ මං කොහොම පොලිසියට ආවද කියලා. ඕ.‍අයි.සී. මහත්තයට විස්තරේ කිව්වා. මට ඕන වුණේ මගේ දරුවා බේරාගන්නයි. පොලිසියේ මහත්වරු හින්දා අද මමත් මගේ දරුවාත් ජීවත් වෙනවා.” ජනිතා හැඬූ කඳුළින් කීවා ය.
මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී රවීන්ද්‍ර කුමාර කියා සිටියේ තමා එසේ ‍කළේ තම බිරිය බිය ගන්වා අවනත කර ගැනීමට බවයි.
“මම මගේ ගෑනිව බය කරන්නයි මෙහෙම කළේ. ඔවුන් මරා දමන අදහසක් තිබුණේ නැහැ. අනේ සර් මගේ දරුවා පරිවාසයට දාන්න එපා. මම හිතුවේ මගේ ගෑනි මාවත් දරුවාත් දාලා ගිහිල්ලා කියලයි. ඒ ගැන මම පොලිසියට පැමිණිලි කරන්නයි හිටියේ. ඒත් මට හිතුණා මගේ ජීවිතේ ඕනෙ නෑ කියලා. ඒ හින්දා මම ඉණිමඟ තියලා බාල්කෙට නගින්න හදන කොටම දරුවා ඇහැරී අඬන්න පටන් ගත්තා‍. මම ඉණිමගින් බැහැලා දරුවා නැළෙව්වා. මගේ ජීවිතේ බේරුණේ මගේ දරුවා නිසා” රවීන්ද්‍ර පොලිසියට එසේ පවසා ඇත.
නමුත් මොහුගේ ක්‍රියා කලාපය යහපත් සමාජයක් අගයන මිනිසුන් කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත. මෙම සිදුවීම දැනගත් මොහොතේ එම නිවෙසට සතර දිගින් සෙනඟ එක් රොක්වන්නට විය‍. මෙම නිවෙසට නිතර ආගිය නම හෙළි ‍කිරීමට අකමැති අසල්වාසී කාන්තාවක් මේ ගැන අප සමඟ පැවැසුවේ මෙබන්දකි. ඇය 73 හැවිරිදි ය. මේ සිදුවීම ඇය දැක ඇත්තේ ඇගේ නිවෙසේ කොන්ක්‍රීට් වළක් කපා කණුවක් සිටුවීමේ කාර්යයට මේ පුද්ගලයාට අඬ ගසා ගැනීමට ගිය අවස්ථාවේදී ය.
“රවීන්ද්‍ර මගේ ගෙදර ඇවිත් යම් යම් වැඩ කර දෙනවා‍. පයිප්ප වැඩ, කොන්ක්‍රීට් වැඩ වගේ දේවල්. මගෙ ගෙදර වැඩක් කරන්න එන්න කියන්න 27 වැනිදා මම ඒ ගෙදරට ගියා. ඒත් කවුරුත් ගෙදර නෑනේ කියලා ආපසු යන්නට හැරුණා.
“නැහැ අපි ගෙදර ඉන්නවා කියලා රවීන්ද්‍ර කතා කළා. ඉදිරිපස දොර ඇරියා. මම දැක්කා සාලය මැද හතරැස් වළක් කපලා තියෙනවා. මම ඇහුවා මොකද මේ ගෙදර මැද වළක් කපලා කියලා. එතකොටම ජනිතා කිව්වා මේ මිනිහා මාවයි දරුවයි වළලන්න වළක් කපනවා කියලා. එවිට රවීන්ද්‍ර දත් විකලා ජනිතාට රැව්වා.
මම කිව්වා දරුවෝ මේ මෝඩ වැඩ නොකර මේ වළ වහලා දාන්න කියලා. පස්සේ මේ විස්තරය මම එහා ගෙදරට කිව්වා. පසුව 28 වැනිදා උදේත් මම රවීන්ද්‍රට කතා කරලා වැඩය ඉවරයක් කර දෙන්න කියන්න ඒ නිවෙසට ගියා. ඒ යනවිටත් ඔහු වළ කපමින් සිටියා. මම නැවතත් ඇහුවා ඇයි මේ වගේ පිස්සු වැඩ කරන්නේ කියලා. මේකියි දරුවයි සමාදානේ සතපවලා මාත් සැතපෙන්න හදන්නේ කියලා මොනව දෝ කිව්වා. කිසිම වැඩකට අපේ ගෙදර පැත්ත පළාතේ එන්න එපා කියලා මම ඔහුට හොඳටම දොස්කියලා ආවායි” ඇය කියා සිටියා ය.
මේ පිළිබඳව මිල්ලනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උදයසිරි කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මේ වනවිට මෙම සිදුවීමේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කර ඇති බවත් ය.
“යම් හෙයකින් මෙම අපරාධය සිදුවූවා නම් එය අහස පොළොව නුහුලන අන්දමේ අපරාධයක් වෙන්නට තිබුණා. මේ කාන්තාව ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිසියට පැමිණීම නිසා මේ අපරාධය වළක්වා ගන්න හැකි වුණා. ජීවිතේ ගැන මේ දෙදෙනාම තීන්දු තීරණ ගැනීමේදී මීට වඩා සැලකිලිමත් වූවා නම් මෙවැනි දේවල් ඇති නොවන්න ඉඩ තිබුණැයි පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK