WATCH Live CRICKET Select A Channel

16 May 2014

ඉපදෙනතුරු ලොවම බලා සිටි කුමාරයා නිල රාජකාරි කටයුතු අරඹයි

ලන්ඩනයේ කෙන්සිංටන් මාලිගයේ වන කේම්බ්‍රිජ් යුවළගේ නිවහනේ ජනේලයක් අසල ප්‍රිතියෙන් සිනාසෙමින් ඡායාරූපයකට මුහුණ දෙන විලියම් කේට් යුවළ හා ජෝර්ජ් කුමරු සමග ඔවුන්ගේ සුනඛ සුරතලා වන ‘ලූ‍පෝ’ද එක්ව සිටීම විශේෂත්වයක්. කෙසේ වුවද කැමරාවට මුහුණ දෙනවාට වඩා කුඩා දරුවන්ටම අනන්‍ය වූ කුතුහලයෙන් අඩුවක් නැති ජෝර්ජ් කුමරුට වැදගත් වී ඇත්තේ සිය සුරතලා ලු‍පෝ මෙම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේදැයි සොයා බැලීමටයි.
වසර දෙකහමාරක් වියැති කොකර් ස්පැනියෙල් වර්ගයට අයත් ලු‍පෝටත්, මෙම හුරතල් කුමරයා වෙතින් දෙනෙත් ඉවතට ගැනීමට නොහැකිව ඇති සෙයකි. බ්‍රිතාන්‍ය රාජකීය පවුල පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවන වැඩිහිටි පරපුරට නම් කේම්බ්‍රිජ් පවු‍ලේ මෙම දෙවන නිල ඡායාරූපයේ හුරුබුහුටි කුමරුගේ පෙනුම දුටු පමණින්ම මීට වසර තිස් එකකට පෙරදී එනම් 1983 වසරේදී, චාල්ස් හා ඩයනා යුවළ සිය නවසීලන්ත සංචාරයට ප්‍රථම නිකුත් කළ සිය පවු‍ලේ නිල ඡායාරූපයේ හුන් බිලිඳු විලියම් කුමරු සිහිපත් වූවාට සැක නැත. කෙන්සිංටන් මාලිගයේදීම ගනු ලැබූ මෙම ඡායාරූපයේ දැක්වෙන එවකට මාස ගණනක් වයස් වූ බිලිඳු විලියම් කුමරුගේ පෙනුම අද සිටින ජෝර්ජ් කුමරුට බෙහෙවින්ම සමාන වීම එක් අතකට එතරම්ම අරුමයක්ද නොවේ. කැමරාවට සෘජුව මුහුණ නොදුන්නද, සිය මවගේ දෑතේ උණුසුමට තුරුළු වී සිටින බිලිඳු ජෝර්ජ් මෙම ඡායාරූපයේ සුවිශේෂම චරිතය බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහුගේ පවු‍ලේ ඇත්තන්ම කියන පරිදි  නවමස් වියැති ජෝර්ජ් හැම අතින්ම ක්‍රියාශීලී, දඟකාර, පී්‍රතියෙන් සිටීමට කැමැති සමාජශීලී දරුවෙකි. සමාජ සේවයට කැප වූ සිය දෙමව්පියන්ගෙන් එය ඔහුට හිමි වූවක් බවට සැක නැත.


සිය දෙමාපියන් වන විලියම් කුමරු හා කේට් කුමරිය යළිත් ක්‍රම ක්‍රමයෙන් නිල රාජකාරී කටයුතුවලට සහභාගි වීමට පටන් ගැනීමත් සමග ජෝර්ජ් කුමරුගේ ජීවිතයේ තීරණාත්මක වෙනසක්ද සිදුව තිබේ. ඒ සිය දෙමාපියන් විසින් විශේෂයෙන් සොයා බලා සේවයට බඳවා ගනු ලැබූ සුපිරි ආයම්මා කෙනෙකුගේ රැකවරණයට පත් වීමයි. නෝර්ලන්ඩ් විද්‍යාලයේ දරුවන් රැක බලාගැනීම පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබූ ස්පාඤ්ඤ ජාතික ‘මාරියා තෙරේසා ටුරියොන් බොරාලෝ’ ආදිපාද යුවළගේ නවසීලන්ත හා ඕස්ට්‍රේලියා සංචාරය සඳහා ද සහභාගිව

සිටියේ බිලිඳු කුමරාගේ ආරක්ෂාව පිළිබඳව නිරන්තර අවධානයක් යොමු කරමිනි.
රාජකීය බිලිඳු නියැළෙන ප්‍රථම නිල විදේශ සංචාරය පිළිබඳව කල් ඇතිව ලෝකයේ විශේෂ අවධානයක් යොමුව තිබුණද ජෝර්ජ් කුමරු යනු කිසිසේත්ම විදෙස් සංචාරයන්ට අමුත්තෙකු නොවේ. කැරිබියන් කලාපයේ මස්ටික් දිවයිනටත්, ස්කොට්ලන්තයේදීත් ඔහු නියැලුණු සංචාර හේතුවෙන් මෙම පළමු නිල සංචාරය
තුළදීද ඔහු සුවිශේෂී හපන්කම් දක්වනු ඇති බවට අනාවැකි පළව තිබිණි. දිගු ගුවන් ගමන්වල නියැළීමත්, වෙනස් පරිසර තත්ත්වවලදී නින්දට යෑමත් බොහෝ ළදරුවන්ට අපහසුදායක අත්දැකීමක් ගෙනාවද ජෝර්ජ් කුමරු සම්බන්ධයෙන් නම් එබඳු චෝදනා මතු නොවීමට ඔහු පෙර ලද සංචාරයන් ගෙන් ලද අත්දැකීම් හේතු වූ බවට සැක නැත.
පසුගිය අප්‍රේල් 17 දා නවසීලන්තය බලා පැමිණි විලියම්, කේට් යුවළ හා බිලිඳු ජෝර්ජ් කුමරු දින දහනවයක කාලයක් නවසීලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ගත කරනු ලැබූ අතර, ඒ හැම සංචාරයකදීම දෙරටේදීම වැඩිම අවධානයක් ගන්නා ලද්දේ ජෝර්ජ් කුමරුයි. ජෝර්ජ් කුමරුගේ පළමු නිල රාජකාරිය යෙදී තිබුණේ නවසීලන්තයේදීයි. එහිදී වෙලිංටන් නුවර රජයේ මූලස්ථානයේදී සිය සම වයසේ පසුවන දරු දැරියන් දසදෙනකු හමු වීමේ අවස්ථාව බිලිඳු ජෝර්ජ් කුමරුට හිමි වූ අතර තමන් මෙන්ම කුළුඳු‍ලේම දෙමාපියන් වූ නවසීලන්ත ජාතික මාපිය යුවළවල් දසදෙනකු හමුව සිය අත්දැකීම් බෙදා හදා ගැනීමේ අවස්ථාවත් විලියම් කේට් යුවළට හිමි විය. ‘ප්ලන්කට්’ නමැති සුබසාධන සංවිධානයක් විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට සහභාගි වූ සම වයසේ දරු දැරියන් සමග හරි හරියට සෙල්ලම් කරමින් බඩගාමින් දඟකාරී ලෙස හැසිරෙන ජොර්ජ් කුමරුගේ ඡායාරූප මෙන්ම වීඩියෝ පටද රාශියක් මාධ්‍ය ඔස්සේ නිකුත් වී තිබුණේ කුමරුගේ ජනප්‍රියත්වය මොනවට පැහැදිලි කරමිනුයි. මෙම පළමු නිල රාජකාරිය සඳහා කුමරුට හඳවා තිබූ ස්මොක් කරන ලද තද නිල් පැහැති ඇඳුමත් ඒ දිනවලදී වෙළෙඳ‍පොළේ උණු කැවුම් මෙන් අලෙවි වූ බවත් නොරහසක්. සිය මව මෙන්ම බිලිඳු කුමරුත් දැන් සිටම විලාසිතා ලෝකයේ ජනප්‍රිය තරුවක් වී ඇති බවට මෙය හොඳම නිදසුනක්. අප්‍රේල් 16 දා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය විලියම් - කේට් හා බිලිඳු කුමරු එහිදී ටැරොන්ගා සත්වෝද්‍යානයේ සිදුකළ සංචාරයත් මාධ්‍ය ලෝකයේ සුවිශේෂී අවධානයට පාත්‍ර වූයේ, සිය පුතුගේ මුවින් නිරතුරුවම වෑස්සෙමින් තිබූ කෙළ තමා හැඳ සිටි මිල අධික ගවුමින්ම ඉතා සීරුවට පිස දමන කේට් කුමරියගේ දසුන නිසයි. නව මස් වියැති බිලිඳු කුමරුගේ කිරි දත් කීපයක්ම මේ වන විට මතු වෙමින් පවතින නිසා මෙම කෙළ පෙරීම, එම තත්ත්වයේ පසුවන බිලිඳුන් සම්බන්ධයෙන් අරුමයක් නොවුවත්, අවස්ථාවේ හැටියට එය පිස දැමීමට සුදුසු යමක් සොයා ගත නොහැකි වූ ආදිපාදවරිය නියම මවකගේ ලීලාවෙන් තමා හැඳ සිටි ඇඳුමින්ම එම අවශ්‍යතාව සපුරා ගැනීමට පෙළඹීම බොහෝ දෙනෙකුගේ විමතියටද හේතු වී තිබිණි. ඉතා සුක්ෂම ලෙස මෙය සිදු කිරීමට කේට් කුමරිය උත්සාහ දැරුවද මාධ්‍යයන්ගේ උකුසු ඇසින් එය වසන් කිරීමට ඇයට හැකි වූයේ නැත. ඇය හැඳ සිටි කහ පැහැති කට්වර්ක් වර්ගයේ රෙද්දෙන් කළ මනහර ගවොම 2012 වසරේදී සොලමන් දූපත්වල ඔවුන් යෙදුණු ජුබිලි සංචාරය සඳහා ඇය විසින් හඳිනු ලැබූවක් වීම නිසාත් මෙම සිදුවීමට විශේෂ අවධානයක් යොමුව තිබිණි.
පසුගිය පාස්කු සමයේදී ටැරොන්ගා සත්වෝද්‍යානයේ නියැළුණු මෙම සංචාරය හුරුබුහුටි ජෝර්ජ් කුමරුගේ දෙවන ප්‍රසිද්ධ නිල රාජකාරිය වූ අතර එහිදී ඕස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ව විශේෂයක් වන ‘බිල්බි’ සත්වයෙකුට ජෝර්ජ් කුමරුව හඳුන්වා දීමේ අවස්ථාව සුවිශේෂී
වූවක් විය. තමා මෙන්ම අතිශයින්ම හුරුබුහුටි වූ බිල්බි සත්වයා දුටු පමණින්ම ඌ කෙරෙහි දැඩි උනන්දුවක් පළකළ ජෝර්ජ් සිය සිඟිති දෑත්වලින් සත්වයා අල්වා ගැනීමට දැරූ උත්සාහය වළක්වාලීමට ඔහුගේ දෙමාපියන්ටත් ඉතා අසීරු වී තිබිණි. ඔටුන්න හිමි අනාගත රජුගේ (ජෝර්ජ්) නමින් බිල්බි සත්වයා නම් කිරීමටත් සත්වෝද්‍යාන බලධාරීන් පියවර ගෙන තිබුණේ මෙම ඓතිහාසික අවස්ථාව අනුස්මරණය කිරීම සඳහායි. එසේම ඕස්ට්‍රේලියාවේ ජාතික සම්පතක් ලෙස සැලකෙන මෙම බිල්බි සත්වයෙකු කුඩා කුමරුට සුරතලෙකු ලෙස හා හදාවඩා ගැනීමට ලබා දීමටත් ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබිණි. තවමත් මාස නවයක් වයසැති ජෝර්ජ් කුමරුට දැනටමත් හිමිව ඇති පිළිගැනීම සුළුපටු නොවන බව ඔප්පු කිරීමට මීට වඩා සාක්ෂි කුමටද?
බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන ජෝර්ජ් කුමරුට ඉදිරියේදී තවත් බොහෝ අත්දැකීම් හා අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. නමුත් ඒ පිළිබඳව කිසිදු හැඟීමක් හෝ අදහසක් තවමත් ඔහු සතු නොවේ. සිය මවගේ හා පියාගේ දෑතේ උණුසුමට තුරුළු වී ඔවුන් කරන කියන කවර දෙයකට වුවද පී්‍රතියෙන් එක්වීමටත් ළමා වියට උරුම වූ වගකීම් විරහිත කෙළිලොල් දඟකාරී බවින් යුතුව ජීවිතය ආශ්වාදනය කිරීමත් මධ්‍යයේ මේ දිනවලදී ජෝර්ජ් කුමරුගේ ෙදෙනික ජීවිතය ගලා යන්නේය.
රාජකීයයෙකු වුවත් බිලිඳෙකු ලෙස සැබැවින්ම විය යුත්තේ ද එයයි.


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK