WATCH Live CRICKET Select A Channel

16 May 2014

අනුන්ගේ සිත් කියැවීමට හැකිවීම හාස්කමක්ද?

Mindමා දන්නා හඳුනන පවුලක් විසින් ඇති දැඩි කළ සුනඛයෙක් පසුගිය දිනවල හදිසියේ ආගිය අතක් නැති විය. ඉන් බලවත් දොම්නසට පත් එම පවු‍ලේ පිරිස එම සතා සෙවීමට මහත් පරිශ්‍රමයක් දැරූහ. එහෙත් ඉන් පලක් නොවිණි. අවසානයේ ඔවුන් මහා බලසම්පන්න දේව වරමකින් ශාස්ත්‍ර කියන බව පැවසුණු ස්ථානයකට ගියේ නැති වූ සුනඛයා පිළිබඳව එමගින් හෝ හෝඩුවාවක් ලද හැකිදැයි විමසා බැලීමටය. 
“කියපු විස්තරේ විදිහට සතාව හොයා ගන්න බැරි වුණාට සාත්තරේ නම් හරියටම කියැවුණා” එම නිවසේ ගෘහණිය කීවාය. “ඒ කොහොමද” මම ඇසීමි. අපි ගිය හැටියෙම ඒ සාත්තර මෑණියෝ ඇහුවා  පවුලෙම කෙනෙක් ගැන නේද අහන්නෙ කියලා. එම ගෘහණිය කීවාය. 
“ඉතින් ඒක බොරුවක් නේ” මම කීවෙමි. 
“ඒ වුණාට එයත් ඉතින් ච්ෙචර කාලයක් හිටියේ පවු‍ලේ කෙනෙක් වගේමනේ” ඇය කීවාය. 
“ඒත් ඔය සාත්තරේට කියැවුණේ පවු‍ලේ කෙනෙක් කියලා මිසක් පවු‍ලේ කෙනෙක් වගේ කෙනෙක් කියලා ‍නෙවෙයිනේ. මම කීවෙමි. 
අනුන්ගේ සිත් කියැවීමට හැකි පුද්ගලයන් සහ ශාස්ත්‍ර මෙලොව ඇතැයි යන විශ්වාසය ලොව බොහෝ දෙනකු තුළ පවතී. සැබැවින්ම අනුන්ගේ සිත් කියවීම (mind reading) කළ නොහැක්කක් ද නොවේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔබ විසින් දැනගත යුතු විද්‍යාත්මක කරුණු කිහිපයක්ද තිබේ. මේ ඒ සම්බන්ධ කෙටි දැනුවත් කිරීමකි. 
අනුන්ගේ සිත් කියැවීම පිළිබඳව විස්තර කිරීමේ දී එය කොටස් දෙකකට බෙදීමට පුළුවන. 
1. ඒ සිත් කියැවීම පිළිබඳ හැඟීමක් ඒ පුද්ගලයාගේ සිත තුළ ජනිත වීම හෝ ජනිත කරවීම 
2. අනුන්ගේ සිත් කියැවීමට ඇති සැබෑ හැකියාව වශයෙනි. 
මෙහි මා මුලින් ඉදිරිපත් කළ කතා ප්‍රවෘත්තිය අනුන්ගේ සිත් කියැවීම 
පිළිබඳ හැඟීමක් ඒ පුද්ගලයාගේ සිත තුළ ජනිත වීම සම්බන්ධ සරල නිදසුනකි.
කිසියම් පෙම්වතියකට තමන්ගෙන් දුරස්ව හිඳින ආදරණීය පෙම්වතාගෙන් කලකට පසු දුරකථන ඇමතුමක් ලැබුණේ යැයි සිතමු. එවිට ඔහුගේ දුරකථන අංකය තම ජංගම දුරකථනයේ සටහන් වත්ම ඇගේ සිත තුළ සුවිසල් සොම්නසක් ජනිත වීම අතිශය ස්වභාවිකය. එය මොළයේ ක්ෂණික විද්‍යුත් හා ෙජෙව රසායනික සංසිද්ධියකටද මුල්වන්නකි. ඒ අනුව වරින්වර තම වෙන්වූ පෙම්වතා ගැන සිතමින් හිඳින අතරේ ඔහුගෙන් ලැබෙන හදිසි දුරකථන ඇමතුමකදී එය ලැබුණු මොහොත ද ඔහු ගැන සිතමින් සිටි අවස්ථාවක් සේ පෙම්වතියකට ක්ෂණිකව හැඟී යා හැක. හදිසියේ හටගත් තීව්‍ර සොමනස මගින් ගන්නා ඒ නිගමනය පසුව ව්‍යාජ මතකයක්  (false memory) මනැසේ රෝපණය විය හැක. 
මෙය ද මා මුලින් සඳහන් කළ අනුන්ගේ සිත් කියැවීමට හැකිය යන විශ්වාසය ජන විඥානය තුළ බද්ධ විය හැකි අවස්ථාවකි.  ඉහත සඳහන් පසුබිම පසෙක තිබියදී අනුන්ගේ සිත් කියැවීමේ යම් හැකියාවක්ද ඇතැමුන් තුළ පවතින බව මම කලින් සඳහන් කළෙමි. 
“අද ලොක්කාගේ මූඩ් එක අප්සෙට්. දැන් නම් ඒ පැත්ත පළාතේ 
වත් යන්න එපා” කාර්යාල සේවයේ යෙදෙන සමහරු තම හිතවතුන්ට හාම්පුතා සම්බන්ධයෙන් එසේ කියති. කෝපය යනු යමකුගේ සිත තුළ ජනිත වන්නකි. එය බාහිරට පිළිබිඹු වන්නේ කතාබහ සහ ක්‍රියාකාරකම් මගින් පමණක් නොවේ. මුහුණින් පළවන හැඟීම්, මුහුණේ පැහැය, මාංශ පේශී
හැඩතලයන් ආදිය මගින්ද යමකුගේ සිත තුළ ඇති භාවයන් හෙවත් (Moods) කෙනෙකුට යම් තරමකට වටහා ගත හැක. එයද එක්තරා සිත් කියැවීමකි. “දුව දැන් දවස් තුන හතරක ඉඳලා හරිම අමුතුයි; මටවත් හරියට මූණ දීලා කතා කරන්නේ නැහැ. ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. හිමින් සීරුවේ හොයලා බලන්න ඕනේ මොකක්ද කාරණේ කියලා.” ඔබ ද සමහරවිට ඔබේ සැමියාට මෙවන් දේ කියා තිබෙන්නට පුළුවන. මෙයද එක්තරා අන්දමක සිත් කියැවීමකි. 
මෙලෙස අනුන්ගේ සිත් කියැවීම සම්බන්ධයෙන් යම් පුද්ගලයකු සතුවම කිනම් හෝ හැකියාවක් තිබේ. එහෙත් ඒ හැකියා මට්ටම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. මෙසේ අනුන්ගේ සිත් කියැවීමට ඇති හැකියාව ද මා පසුගිය සතියේ සඳහන් කළ ඳ හෙවත් බුද්ධි පලයේම කොටසකි. බුද්ධි පල පිළිබඳ විමසීමේදී මෙය හැඳින්වෙනුයේ අන්තර් පුද්ගල බුද්ධිපලය (Interpersonal Intelligence) යනුවෙනි. අනුන්ගේ සිත් කියැවීම පිළිබඳ මෙම හැකියාව පුද්ගලයකු සතු සහජ හැකියාවක් වන අතර මෙය එක් එක් පුද්ගලයන්  සම්බන්ධයෙන් තීව්‍ර, මධ්‍යස්ථ සහ අවම වශයෙන් ක්‍රියාත්මක වෙයි. 
මා මෙහි ඉහත සඳහන් කළ අන්දමට ‘ලොක්කාගේ මූඩ් එක අප්සෙට්’ යන කාර්යාල සගයන් කියන කතා නොඅසා එවන් අවස්ථාවක  කෙළින්ම ප්‍රධානියා ඉදිරියට ගොස් තේරුමක් නොමැතිව බැණුම් අසනුයේ ඉහත සඳහන් එම බුද්ධිපල අවම කණ්ඩායමයි. 
අනුන්ගේ සිත් කියැවීමට සහජයෙන් ලත් හැකියාවට අමතරව විධිමත් පුහුණුවකින් සහ ජීවිත අත්දැකීම් මගින් එය පුළුල් පරාසයක් දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් සමහරුන් තුළ පවතී. විශේෂයෙන් මනෝ වෛද්‍යවරුන්ට අනුන්ගේ සිත් කියැවීමේ පැහැදිලි හැකියාවක් තිබිය යුතුමය. ඒ සඳහා ඔවුහු මනෝ වෛද්‍ය අධ්‍යාපනයේ දී මනෝ ව්‍යාධි විද්‍යාව (Phychopathology) නම් විෂය පථය ඔස්සේ විද්‍යාත්මක හදාරති. යම් යම් පුද්ගලයන්ගේ භාව ප්‍රකාශනයන්, කතාබහ සහ චර්යාත්මක රටාවන් 
නිරීක්ෂණය කිරීමෙන් සහ එම පුද්ගලයන් සමග කතාබහට එළැඹීමේ ඔවුන්ගේ සිත් කියැවීමට මනෝ වෛද්‍යවරුන්ට හැකිය. 
මීට අමතරව මනෝ විද්‍යාඥයන්ට, මනෝ චිකිත්සකයන්ට රහස්පරීක්ෂකයන්ට ‍පොලිස් නිලධාරීන්ට ශූර ව්‍යාපාරිකයන්ට ආදී විවිධ වෘත්තිකයන්ටද මෙම සිත් කියැවීමේ හැකියාවන් තිබේ. මේ අතර සහානුභූතිය (empathy) වැනි මනෝ විද්‍යාත්මක න්‍යායන් මගින්ද යමකුගේ සිත් කියැවීමට පුළුවන. සහනුභූතිය යනු එම සිත් කියැවීමට බඳුන්වන පුද්ගලයාගේ මානසිකත්වයට සමාන්තරවීමේ සියුම් ක්‍රියාවලියකි.  
ඉහත සඳහන් පිරිසට අමතරව දිවයින පුරා ඇති විවිධ ආකාරවල ශාස්ත්‍ර කියන ස්ථානවල ද මෙලෙස අන්‍යයන්ගේ සිත් කියැවීමේ හැකියාව සහිත පුද්ගලයෝ සිටිති. මෙය තමන් සතු සුවිශේෂ හැකියාවක් වුවද එවන් බොහෝ දෙනෙක් මෙය තමන් සතු අතින්ද්‍රිය විඥාන ශක්තියක් (extra sensory perception) වශයෙන් හඳුන්වාදීම සමාජ ඛිෙදවාචකයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඒ ඔස්සේ ගුප්ත ශාස්ත්‍ර කෙරෙහි නතු වන අසරණුන්ගේ මුදල් කඩා වඩා ගැනීමේ සිදුවීම්ද බහුලව වාර්තාවේ. ඒ කෙසේ හෝ ඉහත සඳහන් අන්තර් පුද්ගල බුද්ධිඵලය අතිශය තියුණු මට්ටමක පසු වන්නවුන් හට සිත් කියැවීමේ කලාව ප්‍රවර්ධනය කරගැනීම ඔස්සේ ඉතා යහපත් පෞරුෂයක් සේම පවුල්මය සහ සමාජමය වටපිටාවක් නිර්මාණය කර ගැනීමට ද පුළුවන.

කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා ජාතික රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය 
මහේෂ් රාජසූරිය අනාවරණය කරයි

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK