WATCH Live CRICKET Select A Channel

19 May 2014

අයි.පී.එල් පිටියේ මැක්ස් පොරක් වුණු මැක්ස්වෙල්


මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන් අතර එතරම් ජනප්‍රිය නොවන්නේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් තරු ‍බොහොමයක් මෙවර එම තරගාවලියට ක්‍රීඩා නොකරන නිසාවෙනි. ලසිත් මාලිංග සහ තිසර පෙරේරා පමණක් ඊට සහභාගි වී සිටින නමුත් තිසර එකදු තරගයකට හෝ ක්‍රීඩා නොකර මේ වන විට එංගලන්තය බලා ගොසිනි. ලසිත් මාලිංග ක්‍රීඩා කළ ද ඔහුට ද තවම කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වී ඇත.
මෙවර අයිපීඑල් තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලින් (12 වැනිදා වන විට) තරග 9කට සහභාගි වී ඉන් තරග 2ක් පමණක් පරාජය වුණු කිංග්ස් ලෙවන් පන්ජාබ් පිළ ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

කිංග්ස් ලෙවන් පන්ජාබ් පිලේ මේ ජයග්‍රාහී ගමනේ නියමුවා වෙමින් මෙවර අයිපීඑල් තරගාවලියේ කසකාරයා බවට පත්වුණු එක් සුවිශේෂී ක්‍රීඩකයකු සිටී.
ඔහු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් ජේම්ස් මැක්ස්වෙල්ය.
1988 ඔක්. 14 වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බෝර්න් හිදී උපත ලද මැක්ස්වෙල් දකුණතින් පන්දුවට පහර දෙන දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩකයෙකි.
එදා ‍ෙමදා තුර පැවැති අයිපීඑල් තරගාවලිවලදී හතර අතට හයේ පහර එල්ල කරමින් පිටියේ අණසක පැතිර වූ ක්‍රිස්ගේල්, මයික් හසී වැනි ක්‍රීඩකයින් අබිබවමින් මේ වන විට මැක්ස්වෙල් ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් තරුව බවට පත්ව සිටී.
ඔහු මෙවර අයිපීඑල් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් පිළට ක්‍රීඩා කරමින් මේ දක්වා තරග 09ක් ක්‍රීඩා කර ලකුණු 474ක් රැස්කර ඇත්තේ මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලාභියා වෙමින්. එහිදී 200කට වැඩි ප්‍රහාරක වේගයක් පවත්වාගෙන ඇති මැක්ස්වෙල් මෙම රිද්මයෙන් පන්දුවට පහරදීම රඳවාගෙන ගියහොත් 2012 තරග වාරයේ දී ක්‍රිස්ගේල් සහ 2013 තරග වාරයේ දී මයික් හසීගේ තරගාවලියක වැඩිම ලකුණු ප්‍රමාණය වූ ලකුණු 733 වාර්තාව පහසුවෙන් බිඳ දැමිය හැකි බව විචාරකයින් පවසා තිබේ.
මේ දක්වා තමා ක්‍රීඩා කළ ඉනිම් අනුව ලෝකයේ වඩාත් භයානකම පිතිකරුවා බවට ඔප්පු කර ඇති මැක්ස්වෙල් අවස්ථා හතරකදී ශතකය ආසන්නයටම පැමිණ දැවී ගියේය.
මෙවර අයිපීඑල් තරගාවලියේ මැක්ස්වෙල් ගේ පළමු තරගය වූයේ චෙන්නායි සුපර් කිංග්ස් සමඟයි. එහිදී පන්දු 43කදී හත‍ෙර් පහර 5ක් හයේ පහර 2ක් සමඟ ලකුණු 95ක් ලබාගත් මැක්ස්වෙල් ශතකය පෙන පෙනී ස්මිත් ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. පන්දුවට පහරදීමේ වේගය 197.77කි. පන්ජාබ් කණ්ඩායම ජය ගත්තේය.
කිංග්ස් ලෙවන් පන්ජාබ් පිළ තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් තරග වැදුණේ රාජස්ථාන් රෝයල්ස් පිළ සමඟිනි. එහිදී මැක්ස්වෙල් පන්දු 45 කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 89ක් ලබාගත් අතර රිචඩ්සන් ගේ පන්දුවකට ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් ලබාදීමෙන් දැවී ගියේය. ඒ වන විට ඔහුගේ පහරදීමේ වේගය 197.77කි. එම තරගයෙන් පන්ජාබ් පිලට ජය අත්විය.
සන්රයිස් හයිද්‍රාබාද් පිළට එරෙහිව සිය තුන්වැනි තරගයට ක්‍රීඩා කළ මැක්ස් පන්දු 43කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 9ක් සමඟ ලකුණු 95ක් ලබාගෙන සිටියදී ශතකය අහිමිව දැවී ගියේය. එහි පහරදීමේ වේගය 220.93කි. එම තරගයෙන් ද පන්ජාබ් පිල ලකුණු 72කින් ජයගත්තේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිළ සමඟ පැවැත්වූ දෙවැනි තරගය මැක්ස්වෙල් ගේ 7 වැනි තරගය වූ අතර එහිදී පන්දු 38 කදී හතරේ පහර 6ක් හා හයේ පහර 8ක් සහිතව ඔහු ලැබූ ලකුණු ගණන 90ක්.
ෂර්මා‍ගේ පන්දුවක් හමුවේ ජඩේජා අතට උඩ පන්දුවක් දී දැවී ගිය මැක්ස්වෙල් එහිදී ද පිතිකරණ වේගය 236.84ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
මෙවර IPL තරගාවලියේ පන්ජාබ් පිල සහභාගි වූ අනෙක් තරග 2 වූයේ පසුගිය 9 වැනිදා රෝයල් චැලෙන්ජර්ස් පිළ සමඟ සහ 11 වැනිදා කොල්කටා නයිට් රයිඩර්ස් පිළ සමඟ යන තරග 2යි.
මෙම තරග දෙකම මැක්ස්වෙල්ට එතරම් සුබදායක නොවූ අතර රෝයල් චැලෙන්ජර්ස් පිළට එරෙහිව ඔහු පන්දු 11 කදී ලකුණු 25ක් ද කොල්කටා පිලට එරෙහිව පන්දු 14කදී ලකුණු 14ක්ද ලබාගත්තා.
ඒ අනුව මෙවර තරගාවලියේ මේ දක්වා පැවැති තරගවලින් වැඩිම ලකුණු ලබා සිටින්නේ මැක්ස්වෙල් වන අතර ඔහු ඉනිම් 9කදී ලකුණු 474ක් ලබා ඉදිරියෙන්ම සිටිනවා. ඉනිමක සාමාන්‍ය 52.66ක් වන අතර පහරදීමේ වේගය 198.32ක් වෙනවා. මේ දක්වා ලබා ඇති අර්ධ ශතක 4ක්.
පසුගිය IPL තරගාවලි කීපයකම වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රිස්ගේල් අබිබවමින් මැක්ස්වෙල් මෙවර මේ දක්වා තරග 9ක ඉනිම් 9කට හයේ පහර 29ක් එල්ල කරමින් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටිනවා. ඔහුට පිටුපසින් තරග 9කදී හයේ පහර 27ක් එල්ල කළ ස්මිත් සිටින අතර ක්‍රිස්ගේල් මේ දක්වා ඉනිම් 5කදී එල්ල කර ඇත්තේ හයේ පහර 7ක් පමණි.
එසේම මේ දක්වා ඉනිමක වැඩිම හයේ පහර එල්ල කර ඇත්තේ ද මැක්ස්වෙල්. ඒ ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් පිළට එරෙහිව පන්දු 43කදී ලකුණු 95ක් ලබාගැනීම සඳහා එල්ල කළ 6 පහර 9යි.
ඉනිමක වැඩිම 6 පහර එල්ල කළ ක්‍රීඩකයන් අතරේ දැනට දෙවැනි තැන පසුවන්නේ රෝයල් චැලෙන්ජර්ස් පිලේ ඒ.බී.ඩී.විලියර්ස් හයිද්‍රාබාද් පිළට එරෙහිව එල්ල කළ හයේ පහර 8යි. ඉන්පසු ස්මිත් හයේ පහර 8, යළිත් මැක්ස්වෙල් හයේ පහර 8, යුවරාජ් සිං හයේ පහර 7 සහ මැක්ස්වෙල් හයේ පහර 6 ලෙස පිළිවෙළින් සිටිනවා.
අවසන් පූර්ව තරගවලට පෙරාතුව කිංග්ස් ලෙවන් පන්ජාබ් පිළට තවත් තරග 5ක් ක්‍රීඩා කිරීමට තිබෙන අතර, මැක්ස්වෙල් තම සුපුරුදු රිද්මයට පැමිණියහොත් ඉතා විශාල ලකුණු ගණනක සහ වාර්තා ගණනාවක්ම පිහිටුවීමට ඔහුට හැකිවනු නොඅනුමානය.
මැක්ස්වෙල් IPL තරගාවලියට එක්වන්නේ 2012 වසරේදී දිල්ලි ඩාඩෙවිල්ස් පිළටයි. එහිදී ඔහු ඉනිම් 2ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉන්පසු 2013 තරගවාරයේ දී මුම්බායි ඉන්ඩියන් පිළට ක්‍රීඩාකරමින් ඉනිම් 3ක් ක්‍රීඩා කර තිබෙනවා.
‍කෙසේ වෙතත් 2014 ක්‍රීඩක වෙන්දේසියේ දී පන්ජාබ් පිල ඔහු ඩොලර් මිලියන1.06කට මිලට ගනු ලැබූ අතර එය IPL ඉතිහාසයේ හොඳම ආයෝජනය බවට විචාරකයන්ගේ කතා බහට ලක්වී තිබෙනවා.
මැක්ස්වෙල් 2013 මාර්තු 22 - 24 දක්වා පැවැති ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම ලැබුවා.
මේ දක්වා ඔහු ටෙස්ට් තරග 2කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 39ක් ලබාගෙන තිබෙනවා.
2012 අ‍ගෝ 25 වැනිදා සාජා හිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග වැදෙමින් එක්දින වරම් ලබාගත් ඔහු මේ දක්වා තරග 24කට ක්‍රීඩා කර ඉනිම් 23කදී ලබාගෙන ඇත්තේ ලකුණු 621ක් පමණි. අර්ධ ශතක 6ක් ඊට ඇතුළත් වෙයි.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් තරගවාරයේ දී ටස්මේනියානු කණ්ඩායමට එරෙහිව පන්දු 19කදී අර්ධ ශතකයක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු දේශීය ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ඉතිහාසයට එක්වී සිටී.
එසේම ගෙවී ගිය මාස 7 තුළ විස්සයි විස්ස තරග පිටියේ ඉහළින්ම සිටින්නට ඔහු සමත් වී සිටී. එහිදී මැක්ස්වෙල් ඉනිම් 20කදී ලකුණු 697ක් රැස්කර
ගෙන ඇති අතර අර්ධ ශතක 5කි. 38.72ක සාමාන්‍යයක් සමඟ පහරදීමේ වේගය 200.86ක් තරම් ඉහළ අගයකි. දෙවැනි ස්ථානයේ පසුවන ක්වින්ටන් ඩිකොක් ඉනිම් 20කදී ලකුණු 672ක්, 3 වැනි ස්ථානයේ ආරොන් පින්ච් ඉනිම් 18කදී ලකුණු 666ක් ලබා සිටී.
එසේම ගෙවී ගිය මාස 9 තුළ මුහුණ දුන් පන්දුවලින් නිදැල්ලේ ගිය අඩුම පන්දු ප්‍රතිශතය වාර්තා කිරීමට ද මැක්ස් සමත් වී සිටී. (Dot Ball) එය 37.06%කි. පන්දුවට වේගයෙන් පහර දෙන පිතිකරුවන් කීපදෙනා අතරට අලුතින් එක්වෙමින් එක රැයෙන් ජනප්‍රිය තරුවක් බවට පත්වුණු මැක්ස්වෙල් අනාගතයේ තව බොහෝ වාර්තා පිහිටුවනු ඇති බවට විචාරකයෝ අනාවැකි පළකර සිටිති.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK