WATCH Live CRICKET Select A Channel

18 June 2014

ජීවිතයේ පැතුම් බොඳ කළ ජංගම දුරකතනය

අනුප්ගේ දෑත් පිරී තිබුණේ මලීෂා වෙනුවෙන් මිලදී ගත් ත්‍යාග වලින්. ඔවුන්ගේ සිත් සතුටින් පිරී ගිහින්. ඔවුන්ගේ විවාහය අත ළඟයි. හරියටම තවත් සති තුනකින්. මලීෂා වෙනුවෙන් මිල දී ගත් රන් අභරණ සහ තවත් දේවල් සමඟ අනූප් මලීෂාව නිවෙසට ඇරලවූයේ යළිත් මලීෂාව හමුවන බලාපොරොත්තුවෙන්.

එදින සවස තවත් කටයුත්තක් යෙදී තිබුණෙන් අනූප් දිවා දිවා ආහාරයද නොගෙන මලීෂාගේ නිවසින් පිටත් වුණා. මලීෂාගේ නිවෙස කොරළවැල්ලේ පිහිටා තිබූ අතර අනූප් සිය නිවෙස පිහිටි මොරටුවට පැමිණිය යුතු වුණා.
පුංචි ප්‍රමාදයක් තිබූ නිසාත් ඉක්මනින් නිවෙසට යා යුතු වූ නිසාත් අනූප් දුම්රිය මග ඔස්සේම ඉදිරිය පැමිණියා. නමුත් මලීෂා ට ඔහුව අමතක කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. අනූප්ගේ දුරකතනයේ සටහන් වූයේ මලීෂාගෙන් ලැබුණු ඇමතුමයි. කොයිතරම් කාර්යබහුල වුණත් මලීෂාගේ වදන් හමුවේ අනූප්ගේ වෙහෙස නිවී ගියා. සිත යළි යළිත් සතුටින්ම පිරුණා. ප්‍රීතිමත් සිතින් මලීෂාගේ දහසක් ප්‍රශ්න වලට පිළිතුරු දෙන අතරේ තමන් ගමන් කරමින් සිටි දුම්රිය මාර්ගයේම ඈතින් පැමිණෙන දුම්රියද ඔහුගේ නෙත ගැටුණා.
දෙපා කඩිනම් කළ අනූප් යාබදව පිහිටා තිබුණු අනිත් දුම්රිය මාර්ගයේ පීලි මතට පැන්නා. විශාල ශබ්දයක් හා වේගවත් සුළං ධාරාවක් තමන්ගේ සියලු ශක්තීන් පැහැර ගන්නා බවක් අනූප් ට දැනුණා. අනූප්ගේ ආදරණීය වදන් වෙනුවට කිසිදු මිතුරු කමක් නැති ටීක් ටීක් ශබ්දයක් පමණක් මලීෂා ට ඇසුණා. ඒ ඇයි..... අනූප්.... මලීෂා වරක් දෙකක් නොවේ, කීප වරක්ම ඇමතුවා. නොසන්සුන් සිතින් විනාඩි කීපයක් ගෙවූ මලීෂා, ඊළඟට දුරකථන ඇමතුමක් ගත්තේ අනූප්ගේ නිවෙසටයි.
‘අනූප් ආවද අම්මේ. . . .’
මලීෂා ඔහුගේ මවගෙන් සැහැල්ලු සිතකින් නම් නොවේ.
‘තාම නෑනෙ දුව. . . .’
අද හවස තව වැඩකුªත් තියෙනව කිව්වනෙ, මම හිතුවෙ එහෙත් ගිහින්ම එයි කියලයි. ඇයි දුව පුතා දැන් ගෙදර ආවද. . . ?’ මලීෂා අනූප්ගේ මවට සිදුවූ දේ විස්තර කළා. මේ කතාවෙන් අනූප්ගේ මවගේ සිතත් පැටලිලි සහගත වුණා.
අනූප් ඇයි කතා කරන්නේ නැත්තෙ. .. . ?
අනූප්ගේ මව දුරකතනය තැබුවේ අනූප් ට ඇමැතුමක් ගන්න අදහසින්.
ඇය යළි දුරකථනය වෙත අත තැබුවා පමණයි, දුරකථනය නාද වුණා.
‘හලෝ. . .’
‘මේ අනූප් ඩයස්ගේ ගෙදරද. . .’
‘ඔවු’
‘මේ කතා කරන්නෙ ලුනාව හොස්පිට්ල් එකෙන්. අනූප් කොරළවැල්ලෙ දී කෝච්චියට අහුවෙලා. දැන් හොස්පිට්ල් එකට ගෙනාවා. . .’
‘ඇවිත් අඳුන ගන්න’
‘ආහ්. . . . .’
අනූප්ගේ මවට කියැවුණේ එපමණයි.
මේ දුරකතන ඇමතුම නිසා අනූප් ගෙත් මලීෂා ගෙත් පමණක් නොවේ පවුල් දෙකකම සියලු පැතුම් විනාශ වී ගියා. මලීෂා ට ඉතිරි වුණේ අනූප්ගේ ආදරයේ වේදනාබර මතකය පමණයි. තවත් සති තුනකින් මංගල මුදු පළඳා අලුත් ගමනක් යන්නට පැතූ මලීෂාට සිදු වූයේ අනූප්ගේ සොහොන මත ඉටි පහනක් දල්වන්නටයි.
මොරටුව හා කොරළවැල්ල අතර දුම්රිය මාර්ගයේ ජංගම දුරකතනයෙන් යමකු හා කතා කරමින් ඉදිරියට පැමිණි මේ තරුණයා එකවරම ඉදිරියෙන් කොරළවැල්ල දෙසට පැමිණෙන දුම්රිය දැක යාබදින් වූ දුම්රිය මාර්ගයට පැන තිබූ අතර ඒ මොහොතේම ඒ මාර්ගයේ කොළඹ දෙසට තවත් දුම්රියක් ධාවනය වී තිබුණි. ඒ පිළිබඳ කිසිදු තොරතුරක් නොදත් අනූප් දුටුවේ ඉදිරියෙන් පැමිණි දුම්රිය පමණයි. ඒ මොහොතේ ඔහුගේ අවධානය මුළුමනින්ම රැඳී තිබුණේ දුරකථන ඇමතුමටයි.
මෙවැනි දසුන් අප අනන්තවත් දැක ඇත්තෙමු. බොහෝ අය ජංගම දුරකථනය තමාගේ මිතුරකු හැටියටයි සලකන්නේ. නමුත් අනූප්ගේ මරණයෙන් අපට යළි සිහිපත් කරවන්නේ ජංගම දුරකතනයේ සැඟවුණු අනතුරු රැසක් ඇති බවම නොවේද ?

පුෂ්පා රම්‍යාණි සොයිසා
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK