WATCH Live CRICKET Select A Channel

18 June 2014

ජීවිතය කෙටි කරන අකුණ



ගතවෙමින් පවතින්නේ වැහිබර කාලපරිච්ඡේදයක්. මේ කාලයේදී විය හැකි අනතුරු පිළිබඳ මාධ්‍ය මගින් විටින් විට දැනුම්වත් කළත්, අනතුරු වළක්වා ගැනීමට ජනතාව දක්වන උනන්දුව ප්‍රමාණත් නැති බව, සිදුවන අනතුරු දිහා බැලුවහම තේරුම් ගන්න පුළුවන්. එහෙම වෙන්න බොහෝ විට හේතුවෙලා තිබෙන්නෙ අනතුරු පිළිබඳ ඔබ තුළ ඇති නොසැලකිල්ල සහ නොදැනුවත්කමයි.
ඇය ගෘහණියක්. ගෙදර දාරේ වැඩපළ කරන් ඉන්න ඇයගේ ලොකු ම විනෝදාංශය තමයි රූපවාහිනිය නැරැඹීම. ඇය රූපවාහිනියට කොච්චර ගිජුද කියනවා නම්, රාත්‍රියට ටෙලිනාට්‍ය එකක් නෑර නැරඹීම පුරුද්දක් කරගෙන තිබුණා. එය මඟහැරීමට ඇය පොඩ්ඩක්වත් කැමැති නැහැ. ඒ නිසා ඇයගේ දරුවොත් ඇයත් එක්ක හරි හරියට රූපවාහිනිය නරඹන්න පුරුදු වෙලා තිබුණා.

එදා දවස මේ පවුලට නපුරු දවසක් උදාකරයි කියලා ඔවුන් හිතා හිටියේ නෑ. ඇය ආසම ටෙලිනාට්‍ය විකාශනය වෙන මොහොතෙම මුරුගසන් වරුසාවක් ඇදහැළුණා. විටින් විට අකුණුත් ගැසුවා. හිතේ පොඩි චකිතයක් තිබුණත්, නාට්‍යයට තිබෙන දැඩි ගිජු බව නිසා, නාට්‍යය රසවිඳිමින්ම සිටියා.
ඇයට මතක එපමණයි. ඇය නැවත පියවි සිහියෙන් ඇස් ඇර බලන විට සිටියේ රෝහලක ඇඳක් මතයි.
ඇය පමණක් නොවෙයි, ඇයගේ දරු පවුලම රෝහලේ. එවිටයි ඇයට තමන් කරපු වැරැද්දේ බරපතළකම වැටහුණේ. ඇය රූපවාහිනිය නරඹමින් ඉන්න විට, ගැසූ අකුණු සැරයකට මේ මුළු පවුලම ලක්වුණා.
අකුණු ගසන වෙලාවලදී බොහොම ආසාවෙන් රූපවාහිනිය බලපු බොහෝ අය, අද අප අතර නැහැ.
ඒ අය මෙලොවින් සමු අරගෙන ගිහින්.
මීට පස්සෙ යම්තම් වැස්ස තිබුණත් මම නම් රූපවාහිනිය දාන්නෙ නෑ කියන අධිෂ්ඨානයෙන් තමයි ඇය රෝහලෙන් නික්මුණේ.
ඇය මේ ඉගෙන ගත්ත පාඩමෙන් වඩාත්ම සතුටුවුණේ ඇගේ සැමියා කිව්වොත් නිවැරැදියි.
වැහිබර කාලපරිච්ඡේදවලදී වැස්ස නැති වුණත් අකුණු ඇතිවන්න පුළුවන්. ඒ නිසා මේ කාලවලදී ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්.
විදුලි කොටනකොට පිට්ටනිවල ඉඳන් සෙල්ලම් කරන්න එපා.
සැඳෑ අඳුර ගලන මොහොතේදී පුංචි දරු පැටවුන්ට පිට්ටනියට ගිහින් සෙල්ලම් කරන්න ඕන වුණා. ඒකට මවුපියන්ගෙනුත් අවසර ලැබුණා.
මේ මොහොතේදීම වැහි බිංදු එක දෙක බිමට හැලෙන්න පටන් ගත්තා. වැස්සට තෙමෙන නිසා සියලු දරුවන් නැවත ගෙවල්වලට ගියත්, එක දරුවෙක් පමණක් පිට්ටනියට වෙලා තනියම සෙල්ලම් කළා.
විශාල තැනිතලා පිට්ටනියක සෙල්ලම් කරමින් සිටි මේ පුංචි දරුවාගේ ඉරණම මේ මොහොතේ විසඳේ යැයි කවුරුත් හිතන්න නෑ. ඒත් අවාසනාවන්ත විදිහට ඒ දේ සිදුවුණා.
ඒ බව බොහෝ අයට තේරුම් ගියේ හුඟාක් වෙලාවකට පසුවයි. ඒ වැහිබර මොහොතේදී අහසින් විදුලි වේගෙන් ආ අකුණු සැරය, සෙල්ලම් කරමින් සිටි මේ අහිංසක දරුවාත් සමඟ භූගත වී තිබුණා. අකුණු සැර වැදුණ දරුවා ක්ෂණයකින් මෙලොවින් සමුගත්තා.
වැස්ස නැති වුණත් වැහිබර කාලපරිච්ඡේදයක අකුණු සැර වැදීම්වලට ලක්වෙන්න පුළුවන්. කෙසේ හෝ මෙවැනි අකුණු ගසන කාලවලදී තැනිතලා ප්‍රදේශවල ගමන් කිරීම, සිටගෙන සිටීම නොකළ යුත්තක්.
අකුණු සැර ඇති අවස්ථාවකදී නිවාස හෝ ගොඩනැගිල්ලක් තුළ සිටීම වඩාත් ආරක්‍ෂාකාරී බව මතක තබාගන්න.

පුෂ්පා රම්‍යාණි සොයිසා
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK