WATCH Live CRICKET Select A Channel

23 July 2014

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය

food when breast feedingලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය... 

ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් තම ශරීරය මඳක් මහත් වීම අත්දකිනවා. ඉතින් ඔබ හිතනවා ඇති කොහොමද නැවත පෙර පරිදි සිහින් සිරුරක් ලබා ගන්නේ කියා...

නමුත් ඒ වෙනුවන් අධික ලෙස ආහාර පාලනය නිසා ඔබට ඇති මවු කිරි නිපදවීමේ හැකියාවට බාධා නොපැමිණිය යුතුයි. 

ඔබ කල යුත්තේ මවු කිරි නිපදවීමට අත්‍යවශ්‍ය පෝෂණය අනිවාර්යෙන් ඇතුලත් ආහාර වලට මුල් තැන දීමත් ඔබේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබෙන ආහාර සහ ඔබේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ නිසි ලෙස ලබා ගැනීමත්ය. සුභදායක ප්‍රවෘත්තිය වන්නේ, අපේ රටේ මෙම සියලු දේ මනා ලෙස අඩංගු ස්වභාවික එළවලු, පලතුරු, මස් මාළු, කිරි බිත්තර ආදිය සුලභව තිබීමයි! ඔබ කල යුත්තේ මඳක් සොයා බලා එවැනි දේ මිළදී ගත හැකි වෙළඳ පොළවල් සොයා ගැනීමයි. එමගින් ඔබට බාහිර රසායනික සංයෝග වල පිහිට පැතීම අවම කර ගත හැකියි.

* ආහාර වේලට විවිධත්වයක් එක කර ගන්න

ඔබේ ආහාර වේල සමබල ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්රේට වැඩියෙන් කෑමට ගත යුතු උනත් ඔබ කය වෙහෙසන රැකියාවක නොයෙදේ නම් එය පමණට වඩා සුදුසු නැත. එසේම "බඩ පිරෙන්න කෑම" ඔබට අඩු කල නොහැකි නම් ඔබ අඩුවෙන් කන කබෝහයිඩ්රේට් නිසා දැනෙන හිස් බව පිරවීමට එළවලු සලාද, පළතුරු ආදිය යොදා ගන්න. මස් මාළු හෝ ඒවා නොකන්නේ නම් ආදේශකයන් ලබා ගැනීමත් ඉතා වැදගත්.

* නිවුඩු සහිත සහල් / ධාන්‍ය ආහාරයට ගන්න

කාබෝහයිඩ්රේට ලබා ගැනීමට හැකි තරම් නිවුඩු සහිත ආහාර ගන්න. ඊට අමතරව පිරිපහදු කල සීනි භාවිතයෙන් වැලකී සිටින්න බලන්න. සීනි සහ පිටි අධික ආහාර වෙනුවට දවල් සහ හවස තේ වෙලාවට පලතුරු යුෂ බීමට හැකි නම් සුදුසුය. අවාසනාවකට මෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් රතු බත් කෑමට මැලි බවක් දක්වනවා. එය හොඳටම අප්‍රිය නම් "Whole Grain" ධාන්‍ය ඇසුරෙන් සාදන ලද කෑම ආහාරයට වරින් වර එක් කර ගන්න. උදාහරණ ලෙස ඔබට ඉරිඟු, ඕට්, මෙනේරි, කුරක්කන් ආදිය දැක්විය හැකියි.

* මේද වර්ග ප්රවේසමින් තෝරා ගත යුතුය

සංතෘප්ත මේද සීමා කල යුතුය. පාම් තෙල්, පොල් තෙල්, බටර්, චොකලට්, චීස්, සොසේජස්, මීට් බෝල් ආදියෙහි මේවා වැඩියෙන් තිබේ. අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් භාවිතය සුදුසුය. සොසේජස්, මීට් බෝල් වෙනුවට අලුත් මාළු කෑමෙන් ඔබට එම ප්‍රෝටීන ලබා ගත හැක. බදින ලද අල පෙති (french fries, potato chips), ගැඹුරු තෙලේ බැදපු කෑම (rolls, cutlet), මාගරින්, ක්ෂණික පෑන් කේක් මිශ්රණය, තෙලේ බැදපු කුකුල් මස් හා වෙනත් මස් වර්ග වලින් හැකි තරම් ඈත් වන්න.

* මාළු වර්ග අතිශයින් වටිනා බව දන්නවාද?

ඔබේ දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍ය DHA සහ EPA නමින් හැඳින්වෙන සංයෝගය බහුලව අඩංගු වන්නේ මාළු වර්ග වලය. වාසනාවකට මෙන් අප ජීවත්වන දිවයින එම මත්ස්‍ය සම්පතින් ගහන මුහුදෙන් වටවී ඇත. ඔබ කල යුත්තේ මඳක් සොයා බලා හොඳ අලුත් මාළු ගෙන එන වෙළඳ සැලක් හඳුනා ගැනීමයි. ඉංග්‍රීසි පොත පතෙහි ඔබ දකීවි "salmon, mackarel, sardine" ආදී මාළු වර්ග සුදුසු බව. එම මාළු බොහෝ විට අපේ රට අවට නැහැ. නමුත් අපට ඉතා රසවත් සහ වටිනා මාළු වර්ග තිබෙන බව අමතක කරන්න එපා. ඒවා නම්: තෝරා, කෙළවල්ලා, හුරුල්ලා, කීරමින්, තොන්ඩයා, වැල්ල සූඩයා, සූඩයා ආදියයි. සතියකට දෙවරක් මෙම මාළු ඔබේ ආහාරයට එක කර ගැනීම ප්‍රමාණවත්. එකම මාළු වර්ගයක් දිගටම නොගෙන හැම වර්ගයෙන්ම ටික ටික සතිය පුරා ආහාරයට ගන්න.
ඔබ මාළු වර්ග නොකන්නේ නම් හෝ ඉහත මාළු පහසුවෙන් සොයා ගැනීමට නොහැකි නම්, අනිවාර්යයෙන්ම මෙම සංයෝග ලැබෙන බෙහෙත් කරල් ලබා ගන්න. Omega-3 Fatty Acids ලෙස හඳුන්වන මාළු තෙල් වලින් සාදන ලද බෙහෙත් කරල් වර්ගයක් වේ. මෙය වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.

* කිරි යනු පෝෂණීය ආහාරයක්!

කිරි බීම ගැන විවිධ මත පල උනත් (සෙම හැදෙනවා ආදිය) ඔබ මතක තබා ගත යුතුයි කිරි සහ කිරි ආශ්‍රිත ආහාර යනු ඔබේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් ඉතා පහසුවෙන් ලබා දෙන ආහාරයක් බව. මාංශ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, අස්ථි වර්ධනයට අවශ්‍ය කැල්සියම් සහ විටමින් D ආදිය ඔබට නිර්ලෝභීව ලබා දෙන්නේ කිරි ආහාර වලින්. දිනකට තුන් වරක් වත් කිරි ආශ්‍රිත ආහාරයක් ලබා ගැනීමේ සුදුසුයි. උදාහරණ ලෙස උදේට සහ හවසට කිරි වීදුරුවක්, දවල්ට යෝගට් කෝප්පයක් ආදිය ලබා ගත හැකිනම් ඉතා කදිමයි.

* යකඩ බහුල ධාන්‍ය සහ පළා වර්ග අනිවාර්යයි!

ඔබ දන්නවා ශරීරය පුරා ශක්තිය, පෝෂණය සියල්ල ගෙන යාමට රුධිරය අත්‍යවශ්‍ය බව. ඉතින් එසේ ගෙනයන රුධිරය හිඟ වීමට ඉඩ තබන්න එපා. රුධිර වර්ධනයට යකඩ සහිත ආහාර අවශ්‍ය වෙනවා. නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන අයට නිවිති සහ වෙනත් පලා වර්ග වැඩි පුර ආහාරයට ගැනීම වැදගත්. යකඩ පමණක් නොවේ තවත් බොහෝ පෝෂණ සංඝටක වලින් ගහන නිසා මැල්ලුම් අමතක කරන්න එපා. නමුත් ඔබ මාංශමය ආහාර ගැනීමට අකමැත්තක් නොමැති නම් සුළු වශයෙන් "රතු මාංශ" ලබා ගන්න (ඔබ නිවිති සහ අනෙකුත් එළවලු/පලා/පලතුරු කන්නේ නම් මෙය අත්‍යවශ්‍ය නොවේ!). කවුපි, මෑ, රට මෑ ආදියත් ආහාරයට එක් කර ගන්න.

* පළතුරුවල විටමින් බහුලයි!

අපේ රට විවිධ පළතුරු බහුල ලෙස වැවෙන දිවයිනක්. මනා ලෙස සොයා බැලීමෙන් ඔබට කෘතීම බෙහෙත් ඉසින ලද පළතුරු වෙනුවට නැවුම්, නොඉඳුල් පළතුරු සොයා ගත හැකිනම් අපූරුයි. විශේෂයෙන්ම දොඩම්, දෙළුම්, අලි ගැට පෙර, කොමඩු, කෙසෙල් ආදී අපේ රටේ වැවෙන පළතුරු වලට මුල් තැන දෙන්න. දිලිසි දිලිසි රාක්ක වල තිබෙන ආනයනික පළතුරු වලට වඩා අපේම ගමක වැවෙන නැවුම් පළතුරු ගෙඩියක් එතරම් ලස්සනට දිලිසුනේ නැතත් ඇඟට ගුණ අඩුවක් නැහැ! විශේෂයෙන්ම මෙම පලතුරු වලින් අන්නාසි, අලි ගැට පේර, අඹ, කොමඩු ආදියේ වල් නාශක සහ කෘමි නාශක අඩු යයි පිළිගත හැක. කෙසේ නමුත් සොයා බලා විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න.

* වතුර බොන්න!!!

ඔබ හිතනවා ඇති වතුර පෝෂක සංයෝගයක් නොවේ නේද කියා. නමුත් නිසි ලෙස ජාල පානය අපි නිතරම අවතක්සේරු කරන දෙයක්. ඉහත කී සියලු එළවලු, පළතුරු, මස් මාළු, බිත්තර ආදිය කෑවත්, ප්‍රමානවත් ලෙස වතුර නොබොනවානම් ඔබේ සිඟිත්තාට දෙන ඒ ලොව උතුම්ම සම්පත වන මවු කිරි නිසි ලෙස නිපදවීමට බාධාවක් වේවි.

ඉතින් ඔබට පේනවා නේද මවු කිරි දෙන මවකට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම අපහසු නැති බව. එවැනි වටිනා කෑම වර්ග අපේ රටේ නැතුවා නොවේ, ඔබ හෝ ඔබේ ස්වාමියා මඳක් වෙහෙස වී එය සොයා ගැනීමයි කල යුත්තේ. දිනෙන් දින වැඩෙන ඔබේ සිඟිත්තාට අපේ සුභ පැතුම්!

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK