WATCH Live CRICKET Select A Channel

07 May 2014

07-05-2014 |ඇස් විකුණන් කන දොස්තරලා

කොමිස්‌ කුට්‌ටිය 51% යි

අක්‌ෂි කාචය රජයෙන් දෙන්නේ නොමිලේ
කියන තැනින් ගත්තේ නැත්නම් ලෙඩේ


මියගිය පසු ඇස්‌ දන් දෙන මිනිසුන් ඉන්නේ අපේ රටේය. මියගිය තම සිරුර වෛද්‍ය විද්‍යාලයට භාර දෙන්නැයි ජීවත්ව සිටියදීම ඉල්ලා සිටින මිනිසුන් ඉන්නේ අපේ රටේය. මියගිය විගස ශරීර අවයව දන්දෙන මිනිසුන් ඉන්නේ ද අපේ රටේය.ඒ ඇස්‌වලින් පෙනීම ලබන, ඒ අවයවවලින් ජීවත් වන මිනිස්‌සු මේ උදාර දානපතියන්ට ජීවිත කාලය පුරාම පින් දෙති. දන් දුන් සිරුර කපා කොටා පරීක්‍ෂණ පවත්වන සිසුහු ජීවත් වන්නන් සුවපත් කරන්නට දොස්‌තරලා බවට පත් වෙති.

එපමණක්‌ ද ? නැත. ජීවත්ව සිටිද්දීම සිරුර පුරා දිව යන ලේ තවකෙකු ජීවත් කරවන්නට දන් දෙන්නන් ඉන්නේ ද අපේ රටේය. වකුගඩු දෙකෙන් එක්‌ වකුගඩුවක්‌ තවකෙකුට දන්දී තනි වකුගඩුවෙන් ජීවිතය ගෙන යන්නන් සිටින්නේද අපේ රටේය. මේ සත් ගුණවත් මිනිස්‌සු මේ වෙනුවෙන් ශත පහක්‌වත් ලබා නොගනිති. මේ දන්දීම උතුම් දානයක්‌ වන්නේ ඒ නිසාය. මේ අපේ රටේ මිනිසුන්ගේ උත්තම ගුණයයි. අපේ උදාර සංස්‌කෘතියේ ලක්‍ෂණයයි..

එහෙත්, මේ උත්තම මිනිසුන්ට නිගා දෙන්නෝ ද අප අතරම සිටිති. අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ මුදලින් ඉගෙනුම ලබා, ඒ මිනිසුන්ගේම ශරීර අවයව කපා කොටා දැනුම ලබා දොස්‌තරලා වන සුළු පිරිසක්‌ මිනිස්‌කමට නිගා දෙමින් සිටිත්.

"අක්‍ෂි කාචයෙන් කොමිස්‌ ගැහිල්ලක්‌ " යනුවෙන් අපි පසුගිය දිනෙක මේ නොමිනිසුන්ගේ අමන ක්‍රියාව හෙළි කළෙමු.

සාමාන්‍යයෙන් වැඩිහිටි වියට පා තබද්දී ඇසේ සුද මතුවීම..... ඕනෑම කෙනකුට මුහුණ දෙන්නට සිදු වන තත්ත්වයකි. ඊට දුප්පත්, පොහොසත් බේදයක්‌ නැත. එය කම්කරුවාටත් වෛද්‍යවරයාටත් එකසේ පොදු තත්ත්වයකි. 

මෙසේ ඇසේ මතුවන සුද ඉවත් කිරීම රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වලින් ද සිදු කෙරේ. ඇසේ සුද ඉවත් කළ පසු පෙනීම ලබා ගැනීම සඳහා අක්‍ෂි කාච බද්ධ කළ යුතුය.

ඖෂධ සමාගම් විසින් මෙම අක්‍ෂි කාච විවිධ මිල ගණන් යටතේ මෙරට වෙළෙඳපොළේ අලෙවි කරනු ලබයි. ඒවා මිල අධිකය.

ඇසේ සුද ඉවත්කර ගැනීම සඳහා පොහොසතුන් යන්නේ පෞද්ගලික රෝහල් වෙතය. නැති බැරි අයට කවදත් පිහිට ලැබෙන්නේ රජයේ රෝහල්වලිනි. ඒ නිසාම ඇසේ සුද ඉවත් කරන රෝගීන්ට බද්ධ කිරීම සඳහා රජය විසින් නොමිලේ අක්‍ෂි කාච ලබා දේ. 

රජයේ රෝහල් විසින් මෙසේ නොමිලේ බද්ධ කරන අක්‍ෂි කාචයක මිල වන්නේ රුපියල් 8000 කි.

එහෙත් ඖෂධ සමාගම විසින් වෙළෙඳපොළේ මේ එක්‌ අක්‍ෂි කාචයක මිල නියම කර තිබෙන්නේ රුපියල් 20,000 කි. ඊට වඩා ඉහළ මිල ගණන් යටතේ ද අක්‍ෂි කාච ඇත.

රෝගීන්ට අක්‍ෂි කාච බද්ධ කිරීම සිදු කරනුයේ ඒ ඒ රජයේ රෝහල් තුළ සිටින අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසිනි. මේ දොස්‌තරලා අතර සිය වෘත්තියට නිගාදෙන ජාවාරම්කාරයන් පිරිසක්‌ ද සිටිති. රටේ මිනිසුන්ගේ ඇස්‌වල සුද මතුවීමේ රෝගය මේ පිශාචයන්ට, ඉල්ලමකි. රස ආහාරයකි.

ඇසේ පෙනීම දුර්වල වීම නිසා මේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත එන රෝගීන් පරීක්‍ෂා කරන වෛද්‍යවරු" ඇස්‌වල සුද මතුවෙලා සුද අයින් කරලා කාච දමන්න වේවි" යෑයි රෝගියාට පවසයි.

මේ සඳහා අක්‍ෂි කාච රෝහලෙන් නොමිලේ ලබා දෙන බව දන්නා රෝගීහු ද සිටිති. නොදන්නා අය ද සිටිති.

"අනේ මහත්තයෝ ...... කාචෙ නිකං දෙනව නේද..." රෝගියා අසයි. "නෑ නෑ. ඒ කාචෙ හරියන්නේ නෑ. අනෙක ලිස්‌ට්‌ එකේ හුඟ කලක්‌ ඉන්නත් වේවි." යෑයි රෝගියා බියට පත් කරන අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා පෑන අතට ගෙන කොලයක යමක්‌ ලියා සිය මුද්‍රdව ද තබා එය රෝගියා අතට දෙමින් "මෙන්න මේ නම තියෙන කාචය අරගෙන එන්න" යෑයි රෝගියාට හෝ ඔහුගේ ඥතියාට උපදෙස්‌ දේ. ඔහු එය රැගෙන ෆාමසියක්‌ වෙත දිවයයි. ඇස්‌ පෙනීම ලබා ගන්නට නම් කාචය අවශ්‍යමය. ඒ නිසාම දොස්‌තර ලියාදුන් තුණ්‌ඩුව ෆාමසියට දී කාචය මිලදී ගනී. එහි මිල රුපියල් 20,000 කි.

අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු මෙසේ රෝගියාට ලියා දෙන්නේ තමන්ට හිතවත් ඖෂධ සමාගමක්‌ විසින් ගෙන්වා අලෙවි කරන අක්‍ෂි කාචයේ නමය. ඇතැම් විට වෛද්‍යවරයා විසින් එය මිලදී ගත යුතු ෆාමසිය ද රෝගියාට පවසයි. දවස අවසානයේ ෆාමසියේ හිමිකරුවා විසින් දොස්‌තරගේ නියමය මත අලෙවි කළ කාච ගණන කොපමණ ද යන්න ගණනය කරයි. ඒ අනුව රුපියල් 20,000 න් සියයට 51 ක මුදලක්‌ (එක්‌ කාචයකින්) අදාළ දොස්‌තර වෙනුවෙන් වෙන් කරයි. එනම් එක්‌ කාචයකින් අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාට රුපියල් 10200 ක කොමිස්‌ මුදලක්‌ ලැබේ. රජය විසින් නොමිලේ දෙන රුපියල් 8000 ක අක්‍ෂි කාචය රෝගියාට බද්ධ කළා නම් වෛද්‍යවරයාට රුපියල් 10,200 ක මුදලක්‌ ලැබේද? නොමිලේ සපයන අක්‍ෂි කාච රෝගීන්ට බද්ධ කිරීම මේ ජාවාරම්කාර වෛද්‍යවරුන් විසින් ප්‍රතික්‍ෂේප කරන්නේ මේ කොමිස්‌ මුදලට ඇති ගිජු බව නිසාය.

කාලාන්තරයක පටන් වෛද්‍යවරුන් විසින් සිදු කරන මෙම ජාවාරම හෙළි වූ පසු සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ අනතුරු ඇඟවීය. එහෙත් එය බිහිරි අලින්ට වීණා වැයීමකි. මේ දොස්‌තරලා ජාවාරම දිගටම කරගෙන යති.

අක්‍ෂි කාච මිලදී ගැනීම සඳහා මහමග, දුම්රිය, බසයේ සිඟමන් යදින මිනිසුන් බොහෝ විට අපට හමුවේ. ඒ මේ වෛද්‍ය මාµsයාකරුවන්ගේ තුණ්‌ඩුවේ සඳහන් අක්‍ෂි කාචය මිලට ගැනීමට රුපියල් 20,000 ක්‌ සොයා ගැනීමටය. ඇසේ සුද ඉවත් කළ පසු බද්ධ කිරීම සඳහා රජය විසින් නොමිලේ අක්‍ෂිකාච ලබා දුන්නද, මේ අසරණ මිනිසුන්ට සිඟා කන්න සිදු වී ඇත. ඒ නොමිලේ දෙන අක්‍ෂි කාචයෙන් රෝගියාට මිස දොස්‌තරලාට ඵලක්‌ නොවන නිසාය. මේ අප කියන දොස්‌තරලා සෙල්ලම් කරන්නේ අහිංසක මිනිසුන්ගේ ඇස්‌ සමඟය. තවකෙකුගේ ඇස්‌ ඇපයට හෝ උකසට තබා හෝ විකුණා හෝ මුදල් හොයන මේ දොස්‌තරලාට මරණින් මතු හිමි වන තැන කොතැන ද යන්න ගැන ඔවුන් විසින්ම සිතා බැලිය යුතුය.

මෙම වෛද්‍යවරුන්ගේ නම් ගම් සහ ඔවුන් සේවය කරන රෝහල් පිළිබඳ විස්‌තර අප සතුව ඇත. අවශ්‍ය අවස්‌ථාවක ඒවා ඉදිරිපත් කිරීමට ද අප සූදානම්ය.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK