WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |තාත්තා කිරිකැටියාව පොළොවේ ගසා මරයි.

මහඔය පොලිස් වසමේ මැදවතුයාය, නිල්ලව ප්‍රදේශයේ කටුමැටි නිවෙසක මවුපියන් සමඟ පදිංචිව සිටි පුංචි කාවින්ද ප්‍රබෝද් පුතුගේ වයස අවුරුද්දයි මාසයකි.
මේ පුතාට කටුමැටි නිවෙසක ජීවත්වීමට සිදුවූයේ පුතාගේ කැමැත්ත මත නොව මවුපිය කැමැත්ත මත ය.
එලෙස මොහු මෙලොවට පැමිණියේ ද ස්වකැමැත්ත නිසා නොව මවුපිය වුවමනාව මත ය.
මවුකුසින් මෙලොවට පැමිණි පළමු තප්පරයේ ම දරුවා පළමු හුස්ම පොද ඉහළට ගත්තේ හඬා වැටෙමිනි. බහ තෝරන වයසට එළැඹෙනතුරුම දරුවකු බොහෝ දේ ගැන ඉඟි ලබාදෙන්නේ හඬමිනි. හඬනා දරුවකු නැලවීම මවුපියන්ගේ යුතුකමකි. වගකීමකි. එලෙසම දරු සෙනෙහසින් පිරිපුන් මවකට පියකුට දරුවකු හඬනු බලාසිටීමට ද නොහැකි ය. සමහර මවුපියවරු දරුවා හඬනාවිට හඬා වැටෙන්නේ ඉසිලිය නොහැකි ඒ දරු දුක නිසා ය.
එහෙත්... කාවින්ද ප්‍රබෝද් පුතුට නම් ලැබී තිබුණේ අපූරුම තාත්තා කෙනෙකි. ගංජා ඉරීමට ඇබ්බැහිව සිටි මේ තාත්තා දිනක් කාවින්ද පුතුගේ හැඬීම නතරකර ගැනීම සඳහා අපූරු ක්‍රියාවක යෙදිනි.
හඬාවැටෙන පුතුට නොහඬා ඉන්නැයි සැරකළ පියා ඊළඟට කළේ වඩාගෙන සිටි දරුවා පාදවලින් අල්ලා බිම අතහැරීමයි. දරුවාගේ හිස පොළොව මත පතිත විය. දරුවාට එය ඉහිලුම් දුන්නේ නැත. ඔහුගේ හැඬීම තව තවත් වැඩිවිය. බිම වැටී හඬනා දරුවා වඩාගත් පියා යළි දරුවාගේ පාදවලින් අල්ලා හිස බිම ඇනෙන පරිදි අතහැරියේ ය. ඉන් දරුවා තවදුරටත් වේදනාවට පත් වූ අතර හැඬීම තව තවත් තීව්‍ර විය. පියාගේ යකා හිස්මුදුනට නැංගේ ය. පහත් වී දරුවා ඔසවාගත් පියා යළිත් පාදවලින් අල්ලා දරුවාගේ හිස බිම ඇනෙන පරිදි අතහැරියේ ය.
පියාට සතුටක් දැනුණේ එම ක්‍රියාවත් සමඟ ය. ඒ... තුන්වැනි වතාවට බිම අතහැරීමෙන් අනතුරුව දරුවා නිහඬවීම නිසා ය. මේ ක්‍රියාවලිය සිදුවූයේ දරුවාගේ මව ද අසල සිටියදී ය. එහෙත්... පියාගේ මේ සාහසික ක්‍රියාවලිය නවත්වාලීමට මවට හැකියාවක් තිබුණේ නැත.
සියලු ක්‍රියාකාරකම්වලින් මිදී නිහඬ වුණ දරුවා රෝහලට රැගෙනයාමට මව උත්සාහ කරද්දී පියා ද ඊට එකඟතාව පල කළේ කුමන හේතුවක් නිසාදැයි සිතීම පවා අපහසු ය. එහෙත්... දරුවා මහඔය රෝහලට රැගෙනගියේ මව හා පියා විසිනි.
දරුවා දෝතට ගෙන හඬා වැටෙමින් රෝහලට මව දිවයද්දී පියා රෝහල් බලධාරීන්ට දරුවාගේ අසනීපය පිළිබඳ කෙටි විස්තරයක් කළේ ය.
“මේ දරුවට ෆිට් එක හැදෙනවා. දැන් ටිකකට කලින් ෆිට් එක හැදිලා කලන්තෙ දාලා බිම වැටුණා. ඊට පස්සේ කිසිම සද්දයක් නෑ, ඒකයි ඉස්පිරිතාලෙට අරගෙන ආවේ...”
පියා මෙලෙස විස්තර කරද්දී මහඹය රෝහල් කාර්ය මණ්ඩලයේ තීරණය වූයේ දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් පහසුකම් සහිත රෝහලකට යැවිය යුතු ය යන්නයි. ඒ අනුව රෝහලේ ගිලන්රථයෙන් දරුවා ඒ මොහොතේ ම පේරාදෙණිය රෝහල වෙත පිටත් කර යවනු ලැබී ය. දරුවා සමඟ මව ද ගියමුත් පියා නතර විය.
පසුගිය විසිහය වැනිදා මධ්‍යම රාත්‍රියේදී මහඔය පොලිසියට පේරාදෙණිය රෝහලෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. එම ඇමතුමෙන් කියා සිටියේ පහරදීමට ලක්ව බරපතළ තත්ත්වයේ පසුවන දරුවකු රෝහලට ඇතුළත් කර ඇති බවයි.
ඒ රාත්‍රියේ ම පොලිසිය මහඔය දරුවාගේ ලිපිනය සොයාගෙන ගිය අතර පියා නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගනුලැබීය.
ඊට හෝරා කිහිපයකට පසු පොලිසියට යළිත් පේරාදෙණිය රෝහලෙන් ඇමතුමක් ලැබුණේ අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවා මියගිය බව දැනුම්දෙමිනි.
“මම ඇත්ත කියන්නම් සර්... මම දරුවට ගැහුවේ නෑ. දරුවා බිම වැටුණා. මම මොකුත් කළේ නෑ....” සැකකාර පියා විමලදාස පවසන්නේ ය.
අත්අඩංගුවටපත් විමලදාස බී-182/14 අංකයෙන් ඝාතන චෝදනාව යටතේ දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත්කොට මහනුවර මහෙස්ත්‍රාත් වෙත නියෝගයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කළේ ය. ඒ... දරුවාගේ මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසට ය. අනතුරුව මහනුවර මහෙස්ත්‍රාත්වරයා පේරාදෙණිය රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ දරුවාගේ දේහය කපා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව වාර්තා කරන ලෙසිනි.
ඒ අනුව පේරාෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. පී. සේනසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වී ය. ඔහුගේ නිගමනය වූයේ හිසට මොට බලයක් එල්ලවීම නිසා මොලයට සිදුවූ හානි හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි.
“එදා මම මහත්තයා එක්ක බඩු වගයක් ගේන්න ටවුමට ගියා. එයා එළවළු ගන්න යවලා මම ටවුමේ අපේ නෑදෑ ගෙදරකට දරුවා වඩාගෙන ගියා. ඒ ගෙදර කට්ටිය ඒ වෙලාවේ හිටියේ නෑ...”
“ටික වෙලාවකින් මහත්තයා එළවළුත් අරගෙන ආවා. ඇවිත් මට එළවළු මල්ල දීලා එයා දරුවා වඩාගත්තා. පස්සේ අපි දෙන්නා පයින් ම ගෙදර යන්න ගියා...” “එහෙම යද්දී දරුවා අඬන්න පටන් ගත්තා. ඒ වෙද්දී අපි ගෙදරට යන අතුරුපාරේ හිටියේ.
“දරුවා අඬද්දී එයා දරුවට අඬන්න එපා කියලා නලවන්න හැඳුවා. ඒත්.... දරුවා දිගටම ඇඬුවා. ඒ පාර එයා දරුවව කකුල් දෙකෙන් අල්ලලා බිමට අතඇරියා. දරුවාගේ හිස්මුදුණ බිම වැදුණා.”
“දරුවට එහෙම කරන්න එපා කියලා මම කෑ ගැහුවට එයා ඒක ඇහුවේ නෑ. වැටුණට පස්සේ දරුවා තවත් හයියෙන් අඬන්න පටන්ගත්තා. එයා දරුවා වඩාගත්තා. දරුවා දිගටම අඬනවා. මෙයා ආපහු දරුවගේ කකුල් දෙකෙන් අල්ලලා ඔළුව බිමට වදින විදිහට අතඇරියා....”
“ඒත්... මට බේරගන්න බැරිවුණා. බිම වැටිලා දරුවා තව තවත් හයියෙන් කෑ ගහලා ඇඬුවා. එයා ඒ වෙද්දී හොඳටම තරහින් හිටියේ. එයා ආපහු දරුවා වඩාගෙන කකුල්වලින් අල්ලලා පොළොවේ අත ඇරියා. ඒ පාර දරුවගේ ඇඬිල්ල නතර වුණා. මගේ වුවමනාවට තමයි දරුවා ඉස්පිරිතාලෙට අරගෙන ආවේ... ඒත් එයත් මාත් එක්ක ආවා....” දරුවාගේ මව නිලානි ප්‍රියංගිකා පොලිසියට කටඋත්තරයක් දෙමින් පවසා තිබුණේ එවැන්නකි.
“මම දරුවට මොකුත් කළේ නෑ. දරුවා ෆිට් එක හැදිලා බිම වැටුණා.” සැකකාර පියා තවදුරටත් පවසන්නේ ය.
අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව බලයක් යොදා දරුවාගේ හිස පොළොවේ ගසා ඇති බව තහවුරු වී ඇත. දරුවාගේ මව ද පියා කළ නරුම ක්‍රියාව ඇසින් දුටුවා ය. ඇය... ඇසින් දුටු සාක්ෂිය නීතිය හමුවේ ප්‍රකාශ කර සිටියාය.
සැකකාර විමලදාස කුමන බොරුවක් කීව ද ඒවා සත්‍ය බව ඔප්පුකිරීමට ඔහුට කිසිදු සාධකයක් නැත. එහෙත්... මේ කතා පුවත අසන දකින සැමගේ මුවින් පිටවන්නේ මොහු පියෙක් ද නොඑසේ නම් යක්ෂයෙක් ද යන පැනයයි. ගංජා ඉරීමට ඇබ්බැහිව සිටි මේ නරුමයාට දරුවාගේ පියා යැයි කීම ද මහා නින්දාවකි.
දරුවන් උදෙසා මුළු ජීවිතයම කැප කරනා පියවරුන් සිටිනා මේ ලෝකයේ ඉඳහිට හමුවන මෙවැනි නරුමයන් පිය පරපුරටම අපහාසයකි.
මහඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හියූ ප්‍රනාන්දුගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති සමරනායක, උප පරීක්ෂක අශෝක අබේවර්ධන, සැරයන්වරුන් වන (20272) චන්ද්‍රසිරි, (32701) සරත්, (10987) විජේතිලක පරීක්ෂණවල නිරතවූහ.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK