රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.
බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.
රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට....
රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ..
ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.
නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ...
ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි..
"ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ" ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත්කරවනසුලුය...
ගීතයට ලැබුණු අගයකිරීම් එමටය.., සංගීතවත් කල රෝහණ වීරසිංහයන්ට ගායනා කල සුනිල් එදිරිසින්හයන්ට වාගේම රචක බන්දුල නානායක්කාරවසම් මහාතාටත්..! නමුත් මෙවැනි විශ්මය ජනකප්‍රතිභාවක් විදහා පාන පරිසමාප්ත කළා නිර්මාණයකට කොතෙකුත් අගය කිරීම් ලැබුනද එයින් සෑහීමකට පත් වීමට බුද්ධිමත් රසිකයෙකුටනම් කිසි සේත් නොහැකිය..
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
පද : බන්දුල නානායක්කාරවසම්