WATCH Live CRICKET Select A Channel

12 May 2014

12-05-2014 |පුතා උපන්දා මං හිටියේ බංගලි දේශයේ-සචිත්‍ර සේනානායක



සචිත්‍ර සේනානායක ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රීඩකයෙකි. පන්දු යැවීමේදී ඔහු ලොව ඕනෑම ප්‍රබල පිතිකරුවකු අතපය බැඳ දැමු ලෙසට කඩුල්ල අසල සිර කර තබයි.
ඕවරයකට ලබාගත යුත්තේ ඉහළ ලකුණු ගණනක් වුවත් ඔහු පන්දුවට පහර දෙන්නට පැමිණි විට පන්දු යවන්නේ ලෝකයේ ප්‍රබලම පන්දු යවන්නා වුවත්, ඊට හයේ පහරක් හතරේ පහරක් එල්ල කරන්නේ පීඩනය ප්‍රතිවාදීන්ට බාර දෙමිනි.

පන්දු රැකීමේදී ජොන්ටි රෝඩ්ස්ට නොදෙවැනි ලෙස ප්‍රතිවාදීන්ගේ ලකුණු ගණනාවක් අවහිර කර දමමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය මාවතට යොමු කරන්නට ප්‍රබල දායකත්වයක් ලබා දෙයි.
2013 දෙසැ. 31 සිට 2014 ජනවාරි 4 දක්වා අබුඩාබි හිදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලබාගත් නමුත් තාමත් ක්‍රීඩා කර ඇත්තේ එම ටෙස්ට් තරගය පමණි.
එහෙත් 2012 ජනවාරි 20 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින වරම් ලබාගෙන මේ දක්වා තරග 28 කට ක්‍රීඩා කර ඇති ‘සචී’ එහිදී ඉනිම් 18 කදී නොදැවීම් 7 ක් සමඟ ලකුණු 209 ක් ලබාගෙන තිබේ. ලකුණු 42 වැඩිම එක්දින ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා වන අතර පිතිකරණ වේගය 101.45 කි.
එසේම විස්සයි 20 තරග 20 කට ක්‍රීඩා කර ඉනිම් 07 කදී ලකුණු 32 ක් ලබා තිබේ.
පසුපෙළ පිතිකරුවකු ලෙස කටයුතු කරන සචී කණ්ඩායමට එක්වී සිටින්නේ පන්දු යවන්නකු ලෙසිනි. පන්දුවෙන් සුවිශේෂී දක්ෂතා පෙන්වන ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇති එක්දින තරග 28 දී පන්දු 1380 ක් යවා ලකුණු 1079 කට බිඳ හෙළා ඇති කඩුලු ගණන 27 කි. හොඳම එක්දින පන්දු යැවීම ලකුණු 41 කට කඩුලු 3 කි.
විස්සයි 20 තරග 16 දී පන්දු 312 ක් යවා ලකුණු 274 කට කඩුලු 18 ක් දවාගෙන ඇති අතර හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 14 කට කඩුලු 3 ක් වාර්තා කර ගෙන තිබේ.
මේ දිනවල එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව සිටින සචිත්‍ර පිටත්වීමට පෙර කළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
අයර්ලන්ත සහ එංගලන්ත සංචාරයට සූදානම කොහොම ද?
“මේ සංචාරයේදී අපිට සීතල තමයි ලොකුම ප්‍රශ්නය වෙන්නෙ. අපිට ඒකට හුරුවෙන්න දවස් කීපයක් ගතවේවි. ඉන් පස්සේ අපිට සුපුරුදු ලෙස ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියල හිතනවා. අපිට මුලින්ම ක්‍රීඩා කරන්න තියෙන්නෙ අයර්ලන්ත සමඟ එක්දින තරග 2 ක්. ඉන් පස්සෙ තමයි එංගලන්තයට යන්නෙ. මෙය අපිට ලොකු අවස්ථාවක් නිසා කණ්ඩායමක් ලෙස ලොකු වෙනසක් කරන්න උපරිමයෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා.”
මේ රටවල තියෙන්නේ වේගවත් තණතිලි. අපේ කණ්ඩායමට ඊට මුහුණ දීමට හැකියාවක් තිබේ ද?
මේ තරගාවලිය අපිට හරිම විශේෂයි. මොකද 2015 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ. ඒ රටවල සීත දේශගුණය සමඟ වේගවත් තණතිලිවල ක්‍රීඩා කිරීමට පෙර පුහුණුවක් ලබා ගැනීමට අපට හැකි වේවි. ඒ නිසා මෙම සංචාරය සඳහා අපි මහන්සි වෙලා පුහුණුවීම් කරලා හොඳ සූදානමක් ඇතිවයි යන්නෙ. අපේ කණ්ඩායම අත්දැකීම් පිරි පන්දු යවන්නන් මෙන්ම ප්‍රබල පිතිකරුවන් ඉන්න සමබර කණ්ඩායමක්.”
දඟ පන්දු යවන්නෙක් ලෙස එම වේගවත් තණතිලි ඔබට කොයි වගේ බලපායි ද?
මේ වේගවත් තණතිලිවල දඟ කැවීම බොහෝ දුරට අඩු වේවි. ඒත් මම එය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඒ ඒ තරගයේදී අවස්ථාවට අනුව පන්දු යවනවා.
අනිත් අභියෝගය තමයි එංගලන්තයේදී ඔවුන් ක්‍රීඩා කරන්නෙ ‘ඩියුක්’ කියන පන්දුවෙන්. ඉතින් ඒ පන්දුව අපි ක්‍රීඩා කරන පන්දුවට වඩා වෙනස්.”
ඔබ පන්දු යැවීමේදී විවිධ උපක්‍රම පාවිච්චි කරනවා කියන එක ඇත්ත ද?
“ඔව්. මුලින්ම මම පන්දු යැව්වෙ සාමාන්‍ය විදිහට. ඒත් දැන් ඉස්සර වගේ නෙමේ තරගයකට පෙර ප්‍රතිවාදී කණ්ඩායම් ඇනලයිස් කරල බලනවා පන්දු යවන්නා කොහොම ද පන්දු යවන්නෙ කියලා. ඉතින් මම කල්පනා කළා මොකක් හරි වෙනසක් කරන්න ඕන කියලා. ඒ අනුව මම පන්දු යැවීමේදී වෙනස්කම් කළා. ඒවා සාර්ථක වුණා.
විස්සයි 20 වැනි වේගයෙන් පන්දුවට පහර දෙන තරගවලදී පවා ඔබ පිතිකරුවන් පාලනය කරමින් පන්දු යවනවා.
“මම බෝල් කරන්න කලින් ටිකක් හිතනවා. ඒ පිතිකරුවා මොන වගේ දෙයක් කරන්න හිතාගෙන ඉඳී ද කියලා. ඒ වගේම මම ගුටි කන්න බය නෑ. ඒ කියන්නෙ මම යැවු පන්දුවකට දෙකකට ඇටෑක් කරලා ලොකු පාරවල්වලට යනවානම් මම පන්දු යවන රටාව වෙනස් කරනවා. එතකොට පිතිකරුවා දෙපාරක් හිතනවා. ඒ වගේම මම ඕවරයක බෝල හය යවන්නෙ විවිධ විධියට. ඒකෙන් තමයි මම පිතිකරුවන් පාලනය කරන්නෙ.
අපි පසුගිය විස්සයි 20 ලෝක කුසලාන ජයග්‍රහණයේ සතුට ගැන කතා කරමු.
“මෙය මගේ පළමු අත්දැකීම. ඉතින් කියාගන්න බැරි සතුටක් හිතට දැනුණා. මට පමණක් නොවෙයි කණ්ඩායමේ හැමෝටම. ඒ වගේම අපේ රටේ ජනතාව හැම දෙනාම පාහේ පුදුමාකාර සතුටක් ලබන බව දැක්කාම ඔවුන් ගැන හරිම ආදරයක් දැනුණා.”
කුසලානය දිනූ දා රාත්‍රියේ ගීත ගයමින් විනෝද වුණා කියන්නෙ ඇත්ත ද?
“සාමාන්‍යයෙන් අපි කට්ටිය සංචාරවලදී ගීත කියලා විනෝද වෙනවා. මම විතරක් නෙමෙයි හැම දෙනාම ගීත කියනවා. ඒත් මට ගීත ගැයීමේ විශේෂ හැකියාවක් තිබෙන නිසා ඉතින් මම තමයි වැඩි ගීත ප්‍රමාණයක් කියන්නෙ.”
ඔබ කුඩා කාලයේ සංගීතය හැදෑරුවා කියන්නෙ ඇත්ත ද?
“ඔව්, පුංචි කාලයේ අක්කයි මමයි දෙන්නම සනත් නන්දසිරි සර්ගෙන් සංගීතය හැදෑරුවා. අපි දෙන්නා යක්කල ඉඳල නුගේගොඩ සනත් සර්ගේ ගෙදරට යනවා. සංගීතය හැදෑරුවාට විභාග කිසිම දෙයක් පාස් වෙන්න බැරිවුණා. අපේ තාත්තා මියගිය නිසා සංගීත කටයුතු මඟ හැරුණා.
ගායනයට පමණක් නොවෙයි ඔබ වාදනයටත් දක්ෂයි කියල ආරංචියි.
“සංගීතය ඉගෙන ගන්න දවස්වල මම තබ්ලා වාදනය ඉගෙන ගත්තා. එතකොට මට තබ්ලාව හොඳට ගහන්න පුළුවන්.
ඒ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ක්‍රිකට්වලටම මුල් තැන දීල තියෙන නිසා ඒව අමතකයි. ඒත් ගෙදර විවේකයක් තියෙනකොට ට්‍රිප් එකක් යනකොට කොංගෝ ඩ්‍රම් එක නම් ගහනවා.”
ඔබ දැන් තාත්තා කෙනෙක්.
“ඔව්, මම බංගලාදේශයේ තරග සංචාරයක නිරත වෙලා ඉන්න කොට තමයි පුතා ඉපදුණේ. වයිෆ් ඉරේෂා මට කතා කරල කිව්වා බබා ලැබෙන්න ළඟයි කියලා. ඉතින් මම ඩොක්ට එක්කත් කතා කළා. ඒ වගේම ඒ අවස්ථාවේ මට ළඟ ඉන්න නොහැකි වුණත් ස්කයිප් එකෙන් සම්බන්ධ වෙලා ඒ අවස්ථාව දැකගත්තා.”
ඔබේ පුතා පවුලට විශේෂයි.
“ඇත්තටම මගේ පුතා තමයි දැනට ඉන්න දරුවන්ගෙන් අපේ පවුලේ එකම පිරිමි දරුවා. මගේ අයියා සසංකට ඉන්නෙත් දුවලම දෙන්නෙක්. ඉතින් ඒ ගොල්ල මටත් වඩා සතුටු වෙනවා. වයිෆ්ගේ පවුලේ අයටත් එහෙමයි. මගේ පුතා අපේ පවුල් දෙකටම විශේෂයි.”
සිංහල අලුත් අවුරුද්ද ගෙවුණේ කොහොම ද?
“ඇත්තෙන්ම මේ ගෙවුණු සිංහල අවුරුද්ද මම කාලෙකින් සතුටින් ගත කරපු එකම අවුරුද්ද ගිය අවුරුද්දේ මේ කාලයේ මම හිටියේ ඉන්දියාවේ. අයි. පී. එල්. තරගාවලියට සහභාගි වෙලා.
ඒත් මේ අවුරුද්දේ මට ලංකාවේ ඉන්න පුළුවන් වුණ නිසා හරිම සතුටින් ගතකළා. විශේෂයෙන් ආසියානු කුසලානය, ලෝක කුසලානය දිනල දවස් කීපයයි. පුතා ඉපදිලා සති කීපයයි. මේ හැම දෙයක්ම නිසා අවුරුද්ද සතුටින් ගෙවුණා.

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK