WATCH Live CRICKET Select A Channel

23 May 2014

දරුවන්ගේ දඟකාරකම් යනු පරිසරය තේරුම් ගැනීමට දරන වෑයමයි

children

වයස අවුරුද්ද පිරීමෙන් පසු කුඩා දරුවන් ඇවිදීම ආරම්භ කරනු ඇත. මීට පෙර මෙන්ම පසුව ඇවිදින දරුවෝ ද සිටිති. කෙසේ වුවද හොඳින් ඇවිදින්නට වූ පසු කුඩා දරුවන් බොහෝ දඟ වැඩ කරන්නේ ඇයි? අද අපි ඒ ගැන සාකච්ඡා කරමු.මෙසේ දුව පැන ඇවිදින වයසේ දරුවන් අතර දඟ නැති දරුවකු සොයා ගත නොහැකි තරම්ය.
බොහෝ දෙමාපියන්ට තිබෙන බියක් වන්නේ දරුවාගේ එම දඟකාර බව ස්වභාවික ද අස්වාභාවික ද යන්නයි.
මේ වයසේ දරුවන් දුවන්නට, පනින්නට, එක එක දේවල් අදින්නට, කඩන්නට, අවුස්සන්නට නිතරම පාහේ පෙළඹෙනු ඇත. හැම විටම කුමක් හෝ දෙයක් කිරීම කුඩා දරුවන්ගේ ස්වභාවයයි. ‘මේ ළමයට එක මොහොතක් නිකන් ඉන්න බෑනේ’ යනුවෙන් දෙමාපියන් දරුවාට චෝදනා කළත් මෙසේ
නිතරම කුමක් හෝ දෙයක් කිරීම කුඩා දරුවන්ගේ මානසික වර්ධනයේ එක් අවස්ථාවකි. ඒ නිසා කුඩා දරුවන් ‘එක මොහොතක් වත් නිකන් නොසිටින එක’ ගැන දෙමාපියන් කනස්සල්ලට පත් විය යුතු නැත.
මෙසේ නිතර යම් යම් දේවල් කිරීම තුළින් කුඩා දරුවා උත්සාහ දරන්නේ පරිසරයේ ඇති නොයෙකුත් දේවල් අත්හදා බැලීම හා ගවේෂණය කිරීමය. කබඩ් එකක් ලාච්චුවක් වැනි දෙයක් දුටුවොත් එය විවෘත කර බලන්නට කුඩා දරුවාට අවශ්‍ය වෙයි. එසේ කරන්නේ එය විවෘත කරන්නට හැකි එකක් බව අවබෝධ කරගත් විට එතුළ ඇත්තේ මොනවාදැයි දැන ගැනීමේ කුතුහලයක් දරුවා තුළ ඇතිවන නිසාය. උස් තැනක් දුටුවොත් එහි නගින්නටත් යළි එතැන සිට පනින්නටත් දරුවාට වුවමනාය. වතුර කරාමයක් තිබෙන විට එය අරින්නට දරුවා උත්සාහ කරනු ඇත. සෙල්ලම් බඩු කඩා ඇතු‍ලේ තිබෙන දේවල් හොඳින් පරීක්ෂා කිරීම ද මේ වයසේ දරුවන්ගේ ස්වභාවයයි. දරුවා මෙමගින් උත්සාහ දරන්නේ පරිසරයේ දේවල් අත්හදා බලන්නට සහ නිරීක්ෂණයකරන්නටය. මෙහිදී දෙමාපියන් කල්පනාවෙන් සිටිය යුතුය. ඒ දරුවා අනාරක්ෂිත ද යන්න පිළිබඳවය. එනිසා ඔබේ ගෙවත්තේ ළිඳක් ඇත්නම් එය දරුවාට අනතුරක් කර ගන්නට නොහැකි වන පරිදි ආවරණය කළ යුතුය. හේතුව ඕනෑම කුඩා දරුවකු ළිං ගැට්ටේ එල්ලී ළිඳ දෙස එබි බලන්නට කැමති නිසාය. බිත්තියේ ප්ලග් ‍පොයින්ට් දුටුවිට එහි ඇති සිදුරුවලට එක එක දේවල් ඇතුළු කිරීමට, තමන්ගේ ඇඟිල්ලක් දමා බැලීමට කුඩා දරුවෝ පෙළඹෙති. එසේ කරන්නේ එය නිරීක්ෂණය කර බලන්නට කුඩා දරුවන් තුළ ඇති වන සහජ ආශාව මතය. එයින් අනතුරක් වේවි යන දැනීම දරුවාට නැත. නමුත් එමගින් අනතුරක් සිදුවන නිසා ඒවා ආවරණය කිරීම ඉතාමත් වැදගත්ය. එසේ නැතුව ‘ඕකට අතදාන්න එපා පුතේ ඔයාට කරන්ට් එක වැදෙයි‘ කීවාට පලක් නොවේ. දරුවා මේ දේවල් කරන්නේ තමා දකින එවැනි දේ සම්බන්ධයෙන් දරුවා තුළ කුතුහලයක් හටගන්නා බැවිනි. යම් විදියකින් තමන්ගේ මව හෝ පියා නැතහොත් වැඩිහිටියකු ‘ඕක කරන්න එපා පුතේ’ කිව්වොත් දරුවා තුළ කුතුහලය වැඩි වෙයි. ඒ අනුව ‘ඇයි මට ඒක කරන්න එපා කිව්වෙ?’ යන්න දැන ගැනීමට දරුවා තුළ සහජ කැමැත්තක් හට ගනී. ‘ප්ලග් ‍පොයින්ට් එකට ඇඟිලි දාන්න එපා’ කරන්ට් එක වැදෙයි‘ කී විට ‘කරන්ට් එක කියන්නෙ මොනවගේ දෙයක්ද? ඒක වැදුනම වෙන්නෙ මොකක්ද?’ යන කුතුහලය දරුවා තුළ ඇතිවේ. ඒ නිසා කවුරුත් නැති අවස්ථාවක දරුවා ප්ලග් ‍පොයින්ට් එකේ සිදුරු තුළට ඇඟිලි ඔබන්නට පෙළඹෙනු ඇත. පිහියක් අතට ගන්නා දරුවාට ‘පිහි අල්ලන්න එපා අත කැපෙයි‘ කියා පලක් වන්නේ නැත. එහිදී ද දරුවා කරන්නේ කවුරුත් නැති විටක පිහිය අතට ගැනීමය. එයින් අත කැපෙන්නේ කෙසේද යන්න ගැන පවා දරුවා පරීක්ෂා කර බලන්නට පෙළඹිය හැකිය.
එනිසා දෙමාපියන් වැඩිහිටියන් කුඩා දරුවන් කරන හැම දේටම ‘එපා එපා’ කියමින් වළක්වනවාට වඩා සුදුසු වන්නේ දරුවාට අනාරක්ෂිත වන හැමදේම දරුවා තුළින් ඈත් කිරීමය. ප්ලග් ‍පොයින්ට් වසා දැමීම, පිහි වැනි කැපෙන සහ අනතුරු විය හැකි දේවල් දරුවාට අත නොගැටෙන තැනක තැබිම. පඩි පෙළවල් ඇත්නම් ආරක්ෂිත වැටක් සවි කිරීම, ගෑස් ළිපවල්, ගෑස් ටැංකි දරුවාට අදින්නට නොහැකි පරිදි ආරක්ෂා සහිතව තැබිම,වීදුරු වැනි කැඩෙන බිඳෙන දේවල් දරුවාට අත පෙවිය නොහැකි ආරක්ෂා සහිත ස්ථානයක තැබිම, රසායනික ද්‍රව්‍ය බෙහෙත් ආදිය දරුවාට කිසිසේත්ම අතට ගත නොහැකි සේ ගබඩා කිරීම සහ ඒවා දරුවාට විවර කරන්නට නොහැකි ලෙස තද මූඩි සවිකර තැබිම. අල්මාරි, කබඩ් වැනි දෑ වසා යතුරු දමා තැබිම ආදී වශයෙන් සියලු අනාරක්ෂිත දෑ ආරක්ෂිත ඒවා බවට පත් කළ යුතුය.
කුඩා දරුවන් නොකළ යුතු දේ කරන විට අප සිතන්නේ ඔවුන් දඟවැඩ කරන බවයි. නමුත් එවැනි වැඩකිරීම කුඩා දරුවන්ගේ ස්වභාවයයි. අනතුරු ගැන හැඟීමක් දරුවාට නැත.අනතුරු සිදුවීම වැළැක්වීම මව්පියන්  වන ඔබේ වගකීමය. දරුවාට තරමක් තේරෙන විට අනතුරු ගැන පහදා දිය හැකිය.
වයස අවුරුදු එක හමාරෙන් පමණ ආරම්භ වන කුඩා දරුවන්ගේ මෙම දඟ වැඩ වයස අවුරුදු පහ පමණ වන විට බොහෝ සෙයින් වැඩි වනු ඇත. ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් දඟ වැඩිය. ඒ පිරිමි ජානවල ස්වභාවයයි. එසේම එක් එක් දේවල් පරීක්ෂා කරන්නට නිරීක්ෂණය කරන්නට ගවේෂණය කරන්නට ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් තුළ ඇති උනන්දුව වැඩි බව කිව යුතුය.
අධි ක්‍රියාකාරී බවින් යුතු දරුවන් ගැන ලබන සතියේ කතා කරමු

උපදෙස් ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK