WATCH Live CRICKET Select A Channel

18 June 2014

විදිලි සැර වැදුණු කෙනෙක්ව ස්පර්ශ කරන්න එපා



එදිනෙදා ජීවිතයේදී අපි විවිධ බලශක්තීන් උපයෝගී කරගෙන සිදුකරන වැඩ කටයුතු බොහෝමයි. මේ අතර විදුලියට හිමි වන්නේ ප්‍රබල තැනක්. ජීවිතයේ බොහේ අවස්ථාවල මෙය උපකාරයක් වනවාසේම මාරාන්තික අනතුරු සඳහාද එක හා සමානව බලපානවා.
යම් ලෙසකින් මෙවැනි අනතුරකට සුළුවශයෙන් හෝ මුහුණදී ඇත්නම් එහි භයානකකම පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ගෘහ විදුලි උපකරණ භාවිතා කරන අවස්ථාවලදී වඩා සුපරීක්ෂාකාරී පියවර අනුගමනය කිරීම මත මෙවන් අනතුරුදායක අවස්ථා අවම කර ගත හැකිය.

විදුලිය භාවිතයේදී ඔබ මම කවුරුත් දන්නා සරල පියවර කිහිපයක් මඟින් නිවසේ දී විදුලිය භාවිතා කළයුතු පරීක්ෂාකාරී ආකාරය මැනවින් අපට වටහා ගත හැකිය.

ඒ අතර තෙත් සහිත අත් ඇතිව විදුලි උපකරණ නොඇල්ලීම, ක්‍රියාත්මක නොකිරීම, රබර්සෙරෙප්පු භාවිතා කිරීම මේ අතරින් කරුණු කිහිපයකි.

මේ පියවර කෙසේ හෝ වේවා ඔබගේම නොසැලකිලිමත් භාවය නිසාම යම් ලෙසකින් ඔබ හෝ ඔබේ සමීපතමයෙක් අනතුරකට මුහුණ දුන් විට කළයුතු ප්‍රථමාධාර මොනවාද කියා ඔබ දන්නවාද? සමහර විට ඔබගේ මේ දැනුවත් වීම යම් අයෙක් මරණීය අවධානමින් ගලවා ගැනීමට උපකාරයක් වන බව ඔබ දන්නවාද? එනිසා අප මෙවර ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතුවේ මේ අංශය පිළිබඳවයි.

මුලින්ම යම් අයෙකුට විදුලිසැර වැදී ඇතිනම් ඔහුට ප්‍රථමාධාර ලබා දීමට සිතා කෙළින්ම ඔහුව ස්පර්ශ කිරීමට නොයන්න. බොහෝ විට මේ පිළිබඳ හරි ආකාරව නොදැනීම නිසා රෝගියාට උපකාර කිරීමට යන පුද්ගලයාත් මුහුණ දෙන්නේ වඩා අවදානම් තත්වයකටය.

ඒ නිසා මුලින්ම ඒ තැනැත්තා දෙස හිසේ සිට පාදන්තය දක්වා හොඳින් නිරීක්ෂණය කොට ඔහුට ප්‍රථමාධාර ලබා දීමට පෙර අනතුර සිදුවූ ස්ථානයේ රෝගියාගේ ශරීරයේ විදුලිය ගමන් නොකරන බව තහවුරු කර ගන්න. සාමාන්‍යයෙන් අධික විදුලිසැරක් වැදුණු අයෙක් වීසි වී ගොස් ඔලුව වැදෙන්න පුළුවන්. එසේත් නැතිනම් අස්ථි බිදෙන්න (අස්ථි නග්න වෙන්න) පුළුවන්.

මීට අමතරව විදුලිය වැදීම නිසා දරුණු පිළිස්සුම් තුවාල ඇතිවී තිබෙන්න පුළුවන්. පසුව එම පුද්ගලයා වෙත වඩාත් ළංවී (ඉහත ආකාරයේ නිරීක්ෂණ වලින් පසුව) හුස්ම වැටෙන නොවැටෙන බව පරීක්ෂා කර බලන්න.

හුස්ම වැටෙන්නේ නැති නම් වහාම පපු තෙරපුම් වාර 30ක් සහ ශ්වසන වාර 02ක් ලබා දෙන්න. යම් ලෙසක අනතුරට මුහුණදුන් තැනැත්තාගේ අස්ථි සථානයක් වී ඇත්නම් එම ස්ථානය නොසෙල්වෙන ලෙස තබා ගැනීම, යම් ලෙසක ලේ ගලන තුවාලයක් සිදුවී ඇතිනම් ඒ මත පීඩනයක් තබා වෙලුම් පටියකින් වෙලන්න.

එසේත් නැතිනම් පිච්චීමකට ලක්වී ඇතිනම් තුවාලය මත හැකිතරම් ගලාගෙන යන ජලයෙන් හොදින් සෝදා පිරිසිදු රෙදිකඩකින් ආවරනය කරන්න. මේ සියලු පියවර අවසානයේ හැකි ඉක්මනින් ළඟම ඇති රෝහලක් කරා රෝගියා රැගෙන යාම සිදුකළ යුතුයි.

පුෂ්පා රම්‍යාණි සොයිසා
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK