WATCH Live CRICKET Select A Channel

18 June 2014

ජීවිතයේ සැදෑ සමයට පෙර සූදානමක් අවශ්‍යයි

වැඩි දෙනකු සිතන්නේ.දවසේ සැන්දෑ කාලය මෙන්ම ජීවිතයේ සැන්දෑ කාලයත් විවේකයත්, සැනසුමත් ගෙන දෙන කාල වකවානුවක් කියායි එහෙත් එය එසේ නොවන බව ජීවිතයේ මැදි වයසේ පසුවන්නන් කරන කියන දෙයින් අපට පැහැදිලි වෙනවා.

මැදි වයසේ කාන්තාවන් මෙලෙසින් මැසිවිලි නගනවා ඔබටත් ඇසී ඇති. ‘ඇඟම කැක්කුමයි’, ‘නින්ද යන්නෙ නෑ’, ‘හරියට දාඩිය දානවා’, ‘හන්දි රිදෙනවා’, ‘ඇඟම රතු වෙලා’, ‘පුදුම කම්මැලිකමක් දැනෙන්නේ’, ‘කිසි දේකට උනන්දුවක් නෑ’, ‘ඉක්මනින් කේන්ති යනවා’ මේ මැසිවිලිිවලට කුමන අයුරකින් හෝ සහනයක් ලබා ගැනීමට නොහැකි වීම කාන්තාවන්ට විශාල ගැටලුවක්. මෙම තත්ත්වයට ලොව පුරා විසිරී සිටින කාන්තාවන් මිලියන 500 කට අධික ප්‍රමාණයක් ගොදුරු වී සිටිනවා.
අසහනකාරී තත්ත්වයකින් නිදහස් වීමට නම් කොපමණ ප්‍රතිකාර ගත්තත් කාන්තාවන්ට ඉඩක් නම් ලැබෙන්නේ නැහැ. මේ සියලුම කරදරවලට හේතුව නම් ජීවිතයට තාරුණ්‍යය ලබා දුන් ආර්තවය නම් ස්වභාවික කායික ක්‍රියාවලියේ නතරවීමයි.

පෙර සූදානමක් ඕනෑ
ආර්තවය නතර වීම සෙනසුරු අපලයක් ඵල දීමක් ලෙස සිතන්න එපා. සිදු වී ඇති දෙය තේරුම් ගෙන කල් තියා කායිකව, මානසිකව සූදානම් වීම මීට ඇති පිළියමයි. එවිට මෙම කායික ක්‍රියාවලිය නතර වීම නිසා ඇති වන අස්ථි ආබාධ, හෘදයාබාධ, මානසික ආතතිය, අධික උණුසුම ආදියට සවිමත් මනසකින් මුහුණ දීමට පුළුවන්.
වියපත් වීමට පෙර ව්‍යායාම කිරීම පුරුද්දක් කර ගන්න. දවසකට විනාඩි 10 ක් ඇවිදින්න. ව්‍යායාමයට ගත කරන කාලයට වඩා වැදගත් වන්නේ දිගින් දිගටම විනාඩි 10 ක් හෝ ඇවිදීම වැනි ව්‍යායාමයක නිරත වීමයි.
කාන්තාවකගේ ජීවිතයට තාරුණ්‍ය උදා වන්නේ මල්වර වීම සමඟයි. හෝර්මෝන පෙරැළිය නිසා ඇති වන මේ තත්ත්වය පවතින කාලයත්, එය නතර වූ කාලයත් කාන්තාවකගේ ජීවිතයට බලපාන ප්‍රධාන සාධකයක්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 – 50 දී ආර්තව චක්‍රය නතර වෙනවා.
ලොව කතුන්ගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු 40 – 50 ත් අතර පසු වෙනවා. මේ අය ඔසප් චක්‍රයට සමු දීමට ආසන්න වෙමින් හෝ ආර්තවය නතර වූ තත්ත්වයට පත් වී සිිටිනවා. ආර්තවය නතර වී වසරක් ගත වූ කාන්තාවන් ආර්තවහරණයට ගොදුරු වූවන් ලෙසින් සළකනවා.
මේ ස්වභාවික ක්‍රියාවලියට ඕනෑම කාන්තාවක් ජීවිතයේ සැඳෑ සමයේදී මුහුණ දෙන නමුත් මේ වෙනස් වීමි තේරුම් ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණයි.
උසස් අධ්‍යාපනය ලද කාන්තාවන්ට පවා ආර්තවහරණය සම්බන්ධව ඇත්තේ අඩු දැනුමක්. එහෙත් විද්‍යාඥයන් නම් විද්‍යා හා තාක්ෂණික දියුණුවේ අභිවෘද්ධියත් සමඟ ආර්තවහරණය ගැන බොහෝ කරුණු සොයා ගෙන. ඒ සියල්ලකින්ම දැනුවත් වූ කතුන්ට තවදුරටත් ආර්තවහරණය කරදරයක් නොවිය හැකි සේම එවැනි කතුන් නිසා වෛද්‍යවරුන්ට ඇති වන කරදරය ද අඩු වනු නිසැකයි.
ව්‍යායාම කිරීමෙන් මේ අයට සහනයක් ලැබිය හැකි සේම, මානසික ආතතියෙන් මිදීම, බර අඩු කර ගැනීම ද, මත්පැන්, දුම් පානය වැනි අහිතකර පුරුදුවලින් ඈත් වීම ද ඉතා වැදගත්.
කාන්තාවන් ජීවිතයේ හරි අඩක් ගත කරන්නේ තම සැමියා, දරුවන්, වයස්ගත මවුපියන් වෙනුවෙන්. තමන් ගැන සිතීම හෙටට කල් දැමීම මේ අයගේ සිරිතයි. එහෙත් මැදි වයසේ දී නම් මේ පුරුද්දට සමු දිය යුතුයි. තමන් ගැන සිතීමට අනිවාර්යයෙන්ම කාලයක් වෙන් කර ගන්න.
පෙර නිමිති හඳුනා ගන්න
සෑම කාන්තාවක්ම ආර්තවයට ගොදුරු වන්නේ එකම ආකාරයට නොවෙයි. ඇතැමුන්ට එය වේදනාකාරී අත්දැකීමක්. තවත් අය එය අපහසුවකින් තොරව අත් විඳී.
ආර්තවය මෙන්ම ආර්තවහරණය ද කාන්තාවන්ගෙන් කාන්තාවට අත් දකින්නේ වෙනස් ආකාරයටයි.
ඇතැම් කාන්තාවන්ට ඔසප් චක්‍රය සම්පූර්ණයෙන් නතර වීම වසර 10 කට පෙර මූලික වෙනස්කම් ඇති වෙනවා. ඔසප් වීම අක්‍රමවත් වීම, ඔසප් වන දින ගණන අඩු වීම, මුල්ම පෙර නිමිතියි. මේ කාලයේදී රාත්‍රියට අධික ලෙස දහදිය දැමීම, නින්ද නොයාම, කායික ක්‍රියාවලි අපහසු වීම, වැනි ගැටලු ඇති වෙනවා. මාස ගණනක් ඔසප් නොවී තිබී යළි ඔසප් වීම කතුන් අත්දකින කරුණු දෙකක්.
ආර්තවහරණයට ගොදුරු වන කාන්තාවන්ගෙන් හතරෙන් තුනකට අධික ප්‍රමාණයකට දහදිය දැමීම, සිරුර රතු වීම වැනි ගැටලු ඇති වෙනවා. දවසකට කිහිප වරක් හෝ සෑම පැයකම මෙම තත්ත්වය ඇති විය හැකියි. උඳුනක දැවෙන්නාක් මෙන් දැනෙන මෙවිට කාන්තාවගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් හෝ 4 කින් ඉහළ යනවා.
නින්ද අඩු වෙයි
වියපත් වීමත් සමඟ ‘නින්ද’ බරපතල ගැටලුවක් වෙනවා. කෙමෙන් කෙමෙන් ගැඹුරු නින්දකට පත්වීමේ හැකියාව අඩු වෙනවා. පුංචි ශබ්දයකින් පවා අවදි වෙනවා.
මේ නිසා නිදන කාමරය, නිදා ගැනීම සඳහාම භාවිත කරන්න. පොත පත කියවීමට, රූපවාහිනිය බැලීමට, නිදන යහන යොදා ගනු එපා. කපු ඇඳුම් ගතට සුවයක් ගෙනෙන නිසා ඇඳීමට වඩාත් සුදුසුයි. නින්දට පෙර කෝපි පානය නොකරන්න. විදුලි පහන් නිවා දමා විනාඩි කිහිපයකින් නින්දට යන්න.
ආදරයට බාධාවක්ද?
ආර්තවහරණය ළං වන විට සමහර කාන්තාවන්ට වඩාත් හොඳින් ආදරය කිරීමට ලැබෙනවා. කාන්තා හෝර්මෝන මට්ටම වෙනස් වී පිරිමි හෝර්මෝන මට්ටම ඉහළ යාම මේ වෙනසට හේතුවයි. එහෙත් තවත් අය කායික ගැටලු රැසකට මුහුණ පානවා.
ආර්තවහරණය ගැන කලබල නොවී සාමාන්‍ය පරිදි කායික ක්‍රියාවල, එදිනෙදා වැඩ කටයුතුවල යෙදීම මීට ඇති පිළියමයි. කායික ක්‍රියාවල දී එම පෙදෙසට හොඳින් රුධිර සැපයුම සිදු වන නිසා පටකවල නීරෝගීතාව ඉහළ යයි.
මූඩ් ගැහීම
ආර්තවහරණය ආසන්නයේදී ඇතැම් කාන්තාවන් සිටින්නේ කැළඹුණු මානසිකත්වයකින්. හෝර්මෝන වෙනස් වීම මෙහි රහසයි. ආර්තවහරණය වන කාලයේදී ඇය සැමියාගේ, දූ දරුවන්ගේ, මවුපියන්ගේ ගැටලුවලින් නිදහසක් ලබා නොතිබීම මීට එක් හේතුවක්. කෑම අරුචිය, හිසේ කැක්කුම, නින්ද නොයෑම, සතුටක් නොමැති වීම වැනි ගැටලු ඇත්නම් පවුලේ වෛද්‍යවරයා හමුවන්න.
පිරිමින් ද ගොදුරු වෙනවා
ජීවිතයේ සැඳෑ සමය සමඟ සිදු වන හෝර්මෝන පෙරැළිය පිරිමින්ටත් පොදු වූ දෙයක්.
කාන්තාවන්ගේ ලිංගික හෝර්මෝනය වන ඊස්ට්‍රජන් හෝර්මෝනය ජීවිතයේ දිගු කාලයක් ඉතා ඉහළ මට්ටමක පවතී.
අවුරුදු 50 හා ඒ ආසන්න වසර 5 ක කාලය තුළ කඩිනමින් මේ අගය පහත වැටෙයි. ස්ත්‍රීන්ගේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු වෙනවා. එහෙත් පිරිමින්ගේ හෝර්මෝන වෙනස් වීම වසර ගණනාවක් පුරා ක්‍රමානුකූලව සෙමින් සිදු වෙයි. පිිරිමින්ගේ පිරිමි හෝර්මෝනය වන ටෙස්ටොස්ටරෝන් හෝර්මෝනය පහළ බැසීම ඇරැඹෙන්නේ වයස 35 සිටයි. වයස අවුරුදු 70 වන විට මේ අගය හරි අඩකින් අඩු වෙයි.
පිරිමි හෝර්මෝනය පහළ බසින විිට මාංශ පේශී වැහැරෙයි. අස්ථි සවිමත් නොවෙයි. කායික උනන්දුව නැති වෙයි. මානසික ආතතිය නොසන්සුන්තාව ඇති වෙයි.
වයස් ගත වන පිරිස වැඩි වෙමින් සිටින කාලයක සැඳෑ සමයට පෙර සූදානමක් අත්‍යාවශ්‍යයි.
රීඩර්ස් ඩයිජෙස්ට් ඇසුරෙන්

ජාතික රෝහලේ
හදිසි අනතුරු ඒකකයේ
පුහුණු කිරිමේ
හෙද නිලධාරිනි
පුෂ්පා රම්‍යානි සොයිසා


Play_Now

Play_Now

Play_Now

WORLD CLOCK